රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවදුරටත් වර්ධනය වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව 2017.04.26 දින සිට රාජ්‍ය සුරැකුම්පත්වල ප්‍රතිමිල දී ගැනීම් ගනුදෙනු සඳහා බ්ලූම්බර්ග් (Bloomberg) විද්‍යුත් බැඳුම්කර වෙළෙඳ පද්ධතිය භාවිත කරන ලෙස ප්‍රාථමික ගනුදෙනුකරුවන් හා නිල ලත් බැංකුවලට නියම කොට ඇත. ඒ අනුව, ඔවුන් පහත සඳහන් කරුණුවලට අනුගත විය යුතු ය. 

  1. ඔවුන් අතර ප්‍රතිමිල දී ගැනීම් පිළිබඳ වෙළෙඳ මිල ගණන් ඉදිරිපත් කිරීම හා ගනුදෙනු කිරීම වෙළෙඳ පද්ධතිය හරහා සිදු කළ යුතු වීම
  2. ආයෝජකයින් සමඟ කරනු ලබන රුපියල් මිලියන 100 හෝ ඊට වැඩි වටිනාකමක් සහිත ප්‍රතිමිල දී ගැනීම් ගනුදෙනු විනාඩි 30ක් ඇතුළත වෙළෙඳ පද්ධතියේ වාර්තා කළ යුතු වීම

ඒ අනුව, පද්ධති ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම මේ වන විට සම්පූර්ණ කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳපොළ ආයෝජකයින්ගේ දැන ගැනීම පිණිස එක් දින, සති 1 හා සති 2 වැනි සම්මත ප්‍රතිමිල දී ගැනුම් ගිවිසුම් සඳහා අදාළ ප්‍රතිමිල දී ගැනීම් ප්‍රමාණයන් හා ඵලදා අනුපාත පිළිබඳ දෛනික වෙළෙඳ සාරාංශයන් නුදුරේ දී ම නිකුත් කිරීමට බලාපොරොත්තු වේ. මෙය ශ්‍රී ලංකා රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳාම සඳහා නිර්මාණය වූ බ්ලූම්බර්ග් වෙළෙඳ පද්ධතියේ තෙවන අදියරයි. මෙම වෙළෙඳ පද්ධතිය පළමු ව 2016.08.01 දින ප්‍රාථමික අලෙවිකරුවන් හරහා සිදු කරන රුපියල් මිලියන 50 හෝ ඊට වැඩි රාජ්‍ය සුරැකුම්පත් ගනුදෙනු සඳහා ආරම්භ කරන ලද අතර පසු ව 2016.09.15 දින සිට සිය නිල ලත් බැංකු සඳහා ද ව්‍යාප්ත කරන ලදී. ඒ අනුව 2017.03.31 දින වන විට රුපියල් බිලියන 1,128ක මුළු වටිනාකමක් සහිත වෙළෙඳ ගනුදෙනු 6,763ක ප්‍රමාණයක් වාර්තා වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දිනපතා මෙම වෙළෙඳ ගනුදෙනු සාරාංශය වෙළෙඳපොළට ප්‍රකාශයට පත් කරනු ලබයි. 

වෙළෙඳපොළ දියුණුව සහ විනිවිදභාවය වෙනුවෙන් වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලිය සඳහා දැනට ගනිමින් පවතින ප්‍රධාන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග පහත පරිදි වේ.

  1. නව මධ්‍ය ප්‍රතිපාර්ශ්ව නිෂ්කාශන සහ පියවීම් පද්ධතියක් සහිත ද්වීතියික විද්‍යුත් වෙළෙඳ පද්ධතියක් පිහිටුවීම සඳහා කැබිනට් මණ්ඩල‍යේ අනුමැතිය සහිත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීම
  2. ප්‍රාරක්ෂණ පහසුකම් සහිත භාණ්ඩාගාර බැඳුම්කර සඳහා නව මාසික වෙන්දේසි පද්ධතියක් ආරම්භ කිරීම සඳහා මුදල් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම හා 
  3. වෙළෙඳපොළ විනය ප්‍රවර්ධනය කිරීම පිණිස යොමු වූ නීති සහ මූලධර්මයන් සහිත වූ නියාමන හා අධීක්ෂණ පද්ධතිය හඳුන්වා දීම

ඒ අනුව, වෙළෙඳපොළ විනිවිදභාවය හේතු කොට ගෙන ඇති වන මිල අනාවරණය වැඩිදියුණු විම හා වෙළෙඳපොළ ද්‍රවශීලතාව ඉහළ යෑම තුළින් රජයේ ණය පිරිවැය මැදිකාලීන ව අඩු වීම සිදු වනු ඇත. 

Published Date: 

Wednesday, May 3, 2017