ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 ජනවාරි මස 22 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 9.00 සහ සියයට 10.00 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින්, මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. නුදුරු කාලීනව උද්ධමනය ඉහළ යෑම සඳහා පීඩන ඇති කළ හැකි බදුකරණයේ සහ සැපයුම් අංශයේ සාධකවල මෑත කාලීන ප්‍රවණතාවන්හි බලපෑම පිළිබඳව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානය යොමු කළේය. කෙසේ වෙතත්, එම මෑත කාලීන ප්‍රවණතාවල බලපෑම මගින් මැදි කාලීන උද්ධමන ඉදිරි දැක්මෙහි සැලකිය යුතු වෙනස්කමක් සිදු නොවනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය. තවද, පෙර ක්‍රියාත්මක කරනු ලැබූ මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග මෙන්ම රජයේ සුරැකුම්පත් හා සම්බන්ධ අවදානම් අධිමිල පහළ යෑම හේතුවෙන් වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු වීම සඳහා ඇති අවකාශය පිළිබඳ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානය යොමු කළේය. වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු කිරීම මගින් අපේක්ෂිත ප්‍රතිලාභ මූල්‍ය ආයතන විසින් ව්‍යාපාර හා පුද්ගලයන් වෙත ප්‍රමාණවත් ලෙස හා කඩිනමින් ලබා දිය යුතු බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධාරණය කළේය.  

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, January 23, 2024