ශ්‍රී ලංකා මහ බැංකුව 2023 වසර සඳහා මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කරයි

2023 වසරේ සැප්තැම්බර් මස අවසානය දක්වා වූ දත්ත ආවරණය කරමින් සම්පාදනය කර ඇති  2023 වසරේ මූල්‍ය ස්ථායීතා විවරණය තුළ මූල්‍ය පද්ධතියෙහි වර්ධනයන්, හඳුනාගනු ලැබූ අවදානම් හා දුර්වලතා සහ එවැනි අවදානම් අවම කිරීම සඳහා මහ බැංකුව සහ අනෙකුත් නියාමන ආයතන විසින් සලකා බලනු ලබන කාල සීමාව තුළ ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඇතුළත් වේ. මෙම ප්‍රකාශනයේ විද්‍යුත් පිටපතක් මහ බැංකු වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැක. 

2023 වසරේ මූල්‍ය ස්ථායීතා විවරණයේ සාරාංශයක් සහ මූල්‍ය ස්ථායීතාව පිළිබඳ ඉදිරි දැක්ම පහතින් දැක්වේ:  

ආර්ථික අර්බුදයෙහි ප්‍රතිඵලයක් වශයෙන් පෙර නොවූ විරූ අභියෝග රැසකට මුහුණ දුන් මූල්‍ය අංශය අභියෝගාත්මක තත්ත්වයන් යටතේ වුවද අඛණ්ඩව ක්‍රියාත්මක විය. රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයට සහාය වීම අරමුණු කරගනිමින් බදු ඉහළ නැංවීම හා ඉහළ මිල මට්ටම් සහ පොලී අනුපාත සමඟින් 2023 වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස නවය තුළ දී සමස්තයක් ලෙස ආර්ථිකය සංකෝචනය වීම හේතුවෙන් ආර්ථිකයෙහි පාර්ශවකරුවන්ගේ ශේෂපත්‍ර පීඩනයට ලක් විය. ඒ අනුව, ණයවල ගුණාත්මකබාවයේ සැලකිය යුතු පිරිහීම මධ්‍යයේ ණය සඳහා පවතින ඉල්ලු‍මෙහි සහ සැපයුමෙහි අඩුවීම පිළිබිඹු කරමින් මූල්‍ය අතරමැදිකරණය  සැලකිය යුතු ලෙස පහළ  ගියේය. සමස්ත ණය වර්ධනයේ පහත වැටීම මධ්‍යයේ මූල්‍ය අංශයට අභියෝග එල්ලවිය හැකි අසමතුලිතතාවයන් ඉස්මතු කරමින් රජය වෙත මූල්‍ය අංශයේ නිරාවරණය අඛණ්ඩව ඉහළ ගියේය. 2023 වසරේ මාර්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම අනුමත කිරීම තුළින් මූල්‍ය  අංශය  පිළිබඳ  විශ්වාසය ගොඩනැගුනද, ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අවිනිශ්චිතතා සහ බැංකු අංශය සඳහා සිදු කළ  විමර්ශන ක්‍රියාවලියෙහි ප්‍රතිඵල  ආදිය  මගින් මෙම අංශයෙහි පවතින ඇතැම් ගැටලු‍ නිරාවරණය විය. මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමේ පූර්ව බලපෑම පෙන්නුම් කරමින්, ණය චක්‍රයේ වත්මන් තත්ත්වය  පිළිඹිබු කරන පුද්ගලික අංශයේ ණය වලට දළ දේශීය නිෂ්පාදිතය දරන අනුපාත පරතරය  මගින් ණය චක්‍රයේ  පහළම මට්ටම පසු කර යථා තත්ත්වයට පත්වන අවධිය ආරම්භ කර ඇති බව පෙන්නුම් කළේය. 

සම්පූර්ණ ලිපිය

 

 

Published Date: 

Friday, December 29, 2023