ශ්‍රී ලංකා මහ බැංකුව “ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම” මැයෙන් පත්‍රිකාවක් නිකුත් කරයි

ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මහ බැංකුවේ කාර්යභාරය පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා  මහ බැංකුව විසින් “ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම” පිළිබඳ පත්‍රිකාවක් භාෂා තුනෙන්ම නිකුත් කර ඇත. මෙම ප්‍රකාශනය, ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් සන්නිවේදන උපාය මාර්ගයේ කොටසක් ලෙස, මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ තාක්ෂණික කරුණු පිළිබඳ සරල සාකච්ඡාවක් ඉදිරිපත් කරන අතර, විවිධ පාර්ශ්වකරුවන්ට මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය, ක්‍රියාත්මක කිරීම, මුදල් උපකරණ සහ සම්ප්‍රේෂණය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙන්ම, සාමාන්‍ය ජනතාව අතර මුදල් මෙහෙයුම් කටයුතු පිළිබඳ වැරදි වැටහීම් ඉවත් කිරීමට ද මෙම පත්‍රිකාව උපකාරී වනු ඇත.

මහ බැංකුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී මුදල් ප්‍රතිපත්තියේ කාර්යභාරය, ද්‍රවශීලතා කළමනාකරණය සහ ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාත්මක කිරීම තුළින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ මුදල් සම්ප්‍රේෂණ යාන්ත්‍රණය පිළිබඳ සාකච්ඡාවක් මෙම පත්‍රිකාවේ අඩංගු වේ. මේ අනුව, මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව උනන්දුවක් දක්වන අයට ප්‍රයෝජනවත් සහ විශ්වසනීය මූලාශ්‍රයක් වනු ඇත. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය https://www.cbsl.gov.lk/si/ප්‍රකාශන/වෙනත්-ප්‍රකාශන/මහජනතාව-දැනුවත්-කිරීම හරහා මෙම පත්‍රිකාවේ විද්‍යුත් පිටපතක් ලබා ගත හැකිය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, July 10, 2023