ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 ඔක්තෝබර් මස 05 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. මෙම තීරණයට එළඹීමේදී, මුදල් මණ්ඩලය විසින් නවතම සාර්ව ආර්ථික තත්ත්වයන්, අපේක්ෂිත වර්ධනයන් සහ සාර්ව ආර්ථික පුරෝකථන සලකා බලන ලදී. මුදල් මණ්ඩලය විසින් දැනට පවතින දැඩි මුදල් තත්ත්වය, උද්ධමනය ඉහළ යෑමේ වේගය අඩු වීම සහ දේශීය හා ගෝලීය සාධකවල සහාය ලබමින් නුදුරු කාලීනව අපේක්ෂිත උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ ක්‍රියාවලිය සලකා බලන ලදී. ඉදිරි කාලය තුළ අපේක්ෂිත උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ ක්‍රියාවලිය සාක්ෂාත් කර ගැනීම සඳහා මුදල් තත්ත්වය ප්‍රමාණවත් තරම් දැඩිව පවතින බව මුදල් මණ්ඩලයේ අදහස විය. දැනටමත් ක්‍රියාත්මක වන දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම් සඳහා දැඩි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සහාය වනු ඇති අතර සමස්ත ඉල්ලුම් පීඩන ගොඩනැගීම අවම කිරීමටත් එමගින් උද්ධමන අපේක්ෂා පාලනය කිරීමට සහ මැදි කාලීනව මතුපිට උද්ධමනය ඉලක්කගත සියයට 4-6 මට්ටම දක්වා පහළ දැමීමට එම ක්‍රියාමාර්ග උපකාරී වනු ඇත.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Thursday, October 6, 2022