ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය (ITRS) හඳුන්වා දෙයි

බැංකු පද්ධතිය හරහා සිදුවන ජාත්‍යන්තර ගනුදෙනු සහ දේශීය විදේශ මුදල් ගනුදෙනු අධීක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින්, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල සහභාගීත්වය සහිතව ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය නමින් නව දත්ත රැස් කිරීමේ පද්ධතියක් ක්‍රියාත්මක කර ඇත. ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය යනු දේශසීමාවන් අතර සිදුවන ගනුදෙනු සහ දේශීය විදේශ මුදල් ගනුදෙනු පිළිබඳ සවිස්තරාත්මක දත්ත රැස් කිරීමේ පද්ධතියක් වන අතර, මෙමගින් දැනට පවතින දත්තයන්හි අඩුපාඩු රාශියක් පිරවීමට හැකිවනු ඇත. එමෙන්ම එය සංඛ්‍යානමය සහ නියාමන අරමුණු සඳහා විවිධ පැතිකඩ රැසක දත්ත සැපයීමෙන් ප්‍රතිපත්ති සම්පාදනයට උපකාර වනු ඇත. අපනයන ඉපැයීම්, ආනයන, තොරතුරු තාක්ෂණය මත පදනම් වූ ව්‍යාපාර ක්‍රියාවලි බාහිර මුලාශ්‍ර වෙත පැවරීම වැනි සේවා ගිණුමේ ගනුදෙනු, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, මූල්‍ය ගිණුම් ගනුදෙනු ඇතුළු ගෙවුම් තුලන සංඛ්‍යාන වැඩි දියුණු කිරීම සහ තවත් බොහෝ සංඛ්‍යාන දත්ත ආදාන ඇතුළුව අරමුණු ගණනාවක් ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය මඟින් ඉටු කරනු ඇත. නියාමන අවශ්‍යතා සඳහා බැංකු විසින් දත්ත වාර්තා කිරීමේ අරමුණ ද ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය මඟින් ඉටුකර ගත හැකිය. අනාගත ප්‍රතිපත්ති තීරණ සඳහා උපකාරී වන අධ්‍යාපනය, වෛද්‍ය, සංචාරක සහ වෙනත් අරමුණු සඳහා රටින් ගලායන විදේශ විනිමය ප්‍රවාහයන්හි ප්‍රභවයන් සම්බන්ධිත තොරතුරු ලබා ගැනීමට ද ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතියේ දත්ත දායක වේ.   බැංකු මගින් සිදු කරන දත්ත වාර්තාකරණයට පහසුකම් සලසමින් ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය මඟින් මහ බැංකුවෙහි තොරතුරු රැස් කිරීම් ද මධ්‍යගත කරනු ඇත. ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතියෙහි පළමු අදියර 2022 වසරේ ජූනි 21 සිට සජීවීව ක්‍රියාත්මක වේ. මෙම පද්ධති ව්‍යාපෘතියේ මීළඟ අදියරයන්හිදී තවදුරටත් මහ බැංකුවේ දත්ත වාර්තාකරණය මධ්‍යගත කරමින් පහසුකම් සැලසීමට ද අපේක්ෂා කෙරේ.

සියලුම බැංකු, මහ බැංකුව විසින් වැඩි දියුණු කරන ලද ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතියේ වෙබ් අඩවිය හරහා, ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතියට අදාළ මාර්ගෝපදේශයන්ට අනුව, ව්‍යාපෘතියේ පළමු අදියරට අදාළ ගනුදෙනු සම්බන්ධ තොරතුරු වාර්තා කළ යුතුය. ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ස්ථාපිත කර ඇති ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතියේ අධීක්ෂණ ඒකකය මඟින් වාර්තාවන දත්තවල නිරවද්‍යතාවය, කාලෝචිතභාවය සහ ආවරණය සහතික කිරීම සඳහා දිනපතාම බැංකු සමඟ සමීපව කටයුතු කරනු ඇත.

1949 අංක 58 දරන මුදල් නීති පනත, 1988 අංක 30 දරන බැංකු පනත සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනත මගින් ලබා දී ඇති බලතල මත පදනම්ව මෙම වාර්තාකරණ අවශ්‍යතා ක්‍රියාත්මක වේ. 

Published Date: 

Tuesday, June 21, 2022