තිරසාර මූල්‍ය පිළිබඳ වැඩමුළුව

ශ්‍රී ලංකා මහ බැංකුව ලෝක බැංකුවෙහි ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) යටතේ වන තිරසාර බැංකු ජාලය (Sustainable Banking Network, SBN) සමඟ එක් ව 'තිරසාර මූල්‍ය' පිළිබඳ වැඩමුළුවක් 2017 පෙබරවාරි 28 වැනි දින කොළඹ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහභාගී වීමට නියමිත ය. 

වසර ආරම්භයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2017 සහ ඉදිරිය සඳහා වන මුදල් සහ මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති (පෙර දැක්ම) ප්‍රකාශයට පත් කරන ලදී. එම පෙර දැක්මට අනුව තිරසාර බැංකු ජාලයෙහි සාමාජිකයෙකු ලෙස දේශගුණික වශයෙන් හිතකර හා සමාජයේ සියළු දෙනාට ම ප්‍රතිලාභ ගෙන දෙනු ලබන ව්‍යාපාර සඳහා සහාය වීමට සහ මූල්‍ය ආයතන විසින් හරිත මූල්‍යනය කරනු ලබන ව්‍යාපාරවල පාරිසරික හා සමාජීය අවදානම් මනාව කළමනාකරණයට සහාය වීම සඳහා තිරසාර බැංකු කටයුතු පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව අවධානය යොමු කරන බවට අවධාරණය කරන ලදී. එ මෙන් ම, තිරසාර මූල්‍යකරණයේ වැදගත් පියවරක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ සහාය ඇති ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනවල සහභාගිත්වයෙන් 2017 වසරේ පළමු කාර්තුවේ දී වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කරන බවට ද නිවේදනය කරන ලදී. 

තිරසාර මූල්‍ය පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු වැඩමුළුව මඟින් ශ්‍රී ලංකාව තුළ තිරසාර මූල්‍ය ප්‍රවර්ධනය කිරීම අරමුණු කොට එහි ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ එකඟත්වය ගොඩ නැගීම සහ දැනුම්වත්භාවය දියුණු කිරීම අපේක්ෂා කෙරේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය තිරසාර ව වර්ධනය කිරීමට දායක වීමට මූල්‍ය අංශයේ දැනුම්වත්භාවය සහ බලාත්මක වීම සඳහා ප්‍රධාන නියාමන ආයතන සහ මූල්‍ය ආයතන විසින් සාමූහික ව ගනු ලබන ක්‍රියාමාර්ග සහ ඉදිරි දැක්ම පිළිබඳ ව දැනුම හුවමාරු කිරීමේ සැසිවාරයක් මෙහි දී පැවැත් වේ. මෙම වැඩමුළුවෙහි ප්‍රධාන පරමාර්ථය වනුයේ තිරසාර මූල්‍යකරණය සඳහා වන ඉදිරි දැක්ම සැකසීම සඳහා තිරසාර මූල්‍ය පිළිබඳ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමයි. 

 

Published Date: 

Monday, February 27, 2017