2017 ජනවාරි මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 දෙසැම්බර් මාසයේ දී වාර්තා ක‍ළ සියයට 4.2 හි සිට 2017 ජනවාරි මාසයේ දී සියයට 6.5 දක්වා ඉහළ ගියේ ය. 2017 ජනවාරි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2016 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 4.0 හි සිට 2017 ජනවාරි මාසයේ දී සියයට 4.6 දක්වා ඉහළ ගියේය.

මාසික වෙනස්වීම සැලකූ විට, ජාතික පාරිභෝගික මිල දර්ශකය 2016 දෙසැම්බර් මාසයේ වාර්තා වූ දර්ශක අංක 118.0 සිට 2017 ජනවාරි මාසයේ දී දර්ශක අංක 119.3 දක්වා ඉහ‍ළ ගියේ ය. ආහාර කාණ්ඩයට අයත් අයිතමයන්හි මිල ගණන් ඉහළ යෑම මෙම මාසික ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩය තුළ සහල්, පොල්, පලතුරු වර්ග, පොල්තෙල්, අමු මිරිස්, සීනි සහ මාළු මිල ගණන් මාසය තුළ දී ඉහළ ගියේ ය. ආහාර නො වන කාණ්ඩය තුළ ප්‍රවාහන; විවිධ භාණ්ඩ හා සේවා; ආපනශාලා සහ හෝටල්; විනෝදාත්මක හා සංස්කෘතික; අධ්‍යාපන; රෙදිපිළි හා පාවහන්; සහ ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු උප කාණ්ඩයන්හි මිල ගණන් ඉහළ ගියේ ය. නිවාස‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන (භූමිතෙල්); සහ මධ්‍යසාර පාන හා දුම්කොළ උපකාණ්ඩයන්හි මිල ගණන් 2017 ජනවාරි මාසය තුළ දී පහළ ගියේ ය. මේ අතර සෞ‍ඛ‍්‍ය; සහ සන්නිවේදන උපකාණ්ඩයන්හි මිල ගණන් මාසය තුළ දී නො වෙනස් ව පැවැතුණි.

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 දෙසැම්බර් මාසයේ දී පැවති සියයට 6.7 හි සිට 2017 ජනවාරි මාසයේ දී සියයට 7.1 දක්වා ඉහළ ගියේ ය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2016 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 5.9 සිට 2017 ජනවාරි මාසයේ දී සියයට 6.2 දක්වා ඉහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, February 21, 2017