යෝජිත සුරැකුම්කරණ මූල්‍යන වැඩපිළිවෙල යටතේ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කෙරෙනු ඇතැයි යන්න මුළුමනින්ම අසත්‍යයක්

සුරැකුම්කරණ මූල්‍යන වැඩපිළිවෙල (Securitised Financing Arrangement-SFA) සම්බන්ධයෙන් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද යෝජනා සඳහා වූ ඉල්ලීම (Request for Proposals-RFP) මගින් බලපත්‍රලාභී බැංකු වලට ලැබීමෙන් පසු විදේශගත ශ්‍රමිකයන්ගේ සියලුම ප්‍රේෂණ ශ්‍රී ලංකා රුපියලට පරිවර්තනය කිරීම අරමුණු කර ගෙන ඇති බවට පදනම් විරහිත අනුමානයන් පෞද්ගලික වුවමනාවන් සහිත පාර්ශව විසින් පතුරුවා හරිනු ලැබේ. 

මෙම කටකතාවේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව තරයේ ප්‍රකාශයට පත් කරයි. 

රජය විසින් ඩොලරයකට ගෙවනු ලබන අතිරේක රුපියල් දෙකක දිරිගැන්වීම යටතේ, ශ්‍රී ලංකා රුපියල්වලට  ස්වෙච්ඡාවෙන් පරිවර්තනය කරනු ලබන විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවලින් සියයට 10ක් 2021 මැයි 28 දින සිට  බලපත්‍රලාභී බැංකු විසින් මහ බැංකුවට විකුණනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබෙමින් පවතින මෙම මූල්‍ය  ප්‍රවාහය  පදනම් කරගෙන  සුරැකුම්කරණ මූල්‍යන   වැඩපිළිවෙලකට අවතීර්ණ වීමේ හැකියාව සොයා බැලීමට යෝජනා සඳහා වූ ඉල්ලීම් සිදු කෙරෙන අතර, මෙම සුරැකුම්කරණ මූල්‍යන  වැඩපිළිවෙල මගින් විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා කිසිදු බලපෑමක් ඇති නොවේ.  තවදුරටත්  තම ප්‍රේෂණ අතීතයේ දී මෙන් ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ගිණුම්වල නිදහසේ අඛණ්ඩව රඳවා තබා ගැනීමට ‍‍හෝ ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රමිකයන්ට කිසිදු බාධාවක් නැත. 

ඒ අනුව, එවැනි අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර ඒවා මගින් නොමග නොයන ලෙසට උපදෙස් දෙනු ලැබේ. 

මේ අතර,  ශ්‍රී ලංකා මහ බැංකුව රජය සමඟ සහයෝගයෙන්, කලින් ප්‍රකාශයට පත් කළ පරිදි විධිමත් මාර්ග හරහා එවන අරමුදල් දිරිගැන්වීමෙන් විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඉහළ නංවා ගැනීම සඳහා පහසුකම් සැලසීමට අඛණ්ඩව කටයුතු කරනු ඇත.

Published Date: 

Sunday, November 14, 2021