ශ්‍රී ලංකා මහ බැංකුව බ්ලොක්චේන් තාක්‍ෂණය පදනම් කර ගත් ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ හවුල් යාන්ත්‍රණය සඳහා සංකල්ප සාධනය නිර්මාණය කිරීම සහ පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව නිමා කරයි

බ්ලොක්චේන් තාක්‍ෂණය (Blockchain Technology) පදනම් කර ගත් ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ හවුල් යාන්ත්‍රණය (Shared Know-Your-Customer- (KYC)) සඳහා සංකල්ප සාධනය (Proof of Concept (POC))  පිළිබඳ  වාර්තාව 2021 ඔක්තෝබර් මස 25 වන දින ජාතික ගෙවීම් කවුන්සිලයේ සභාපතිනිය වන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ඉවෙට් ප්‍රනාන්දු මහත්මිය විසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පිළිගන්වන ලදී. මෙම අවස්ථාව සඳහා මහ බැංකු කළමනාකාරිත්වය ඇතුළු නිලධාරීන් සහභාගී වූ අතර,  සංකල්ප සාධන පරීක්ෂණ සඳහා දායක වූ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු අනිකුත් නිලධාරීන් මෙන් ම සංකල්ප සාධනය සංවර්ධනය සඳහා දායක වූ කණ්ඩායම් ද අන්තර්ජාලය හරහා සහභාගී විය. 

මින් පෙර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංකල්ප සාධනය නිර්මාණය සඳහා අයදුම් කළ ආයතන අතරින් අයදුම්කරුවන් තිදෙනෙක් තෝරා ගන්නා ලද අතර, එම තෝරා ගත් ආයතන වූයේ,  සම්පත් බැංකුව සමඟ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යාපන ආයතනය (UCSC), යාල ලැබ්ස් (Yaala Labs) පුද්ගලික සමාගම සමග ලිනියර්සික්ස් (LinearSix) පුද්ගලික සමාගම, සහ ස්වීඩනයේ නෝර්බ්ලොක්  ඒබී (Norbloc AB) ආයතනයයි. ශ්‍රී  ලංකා මහ බැංකුව සහ බලපත්‍රලාභී වාණිජ බැංකු දහයක්, එනම්, අමානා බැංකුව, ලංකා බැංකුව, කාගිල්ස් බැංකුව, කොමර්ෂල් බැංකුව, DFCC බැංකුව, හැටන් නැෂනල් බැංකුව, HSBC බැංකුව, NDB බැංකුව, මහජන බැංකුව, සහ ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුව විසින් සංකල්ප සාධන පරික්ෂා කිරීම සිදු කරනු ලැබී ය. සංකල්ප සාධනය ක්‍රියාත්මක කිරීම සහ පරීක්ෂණ අදියර 2021 ජූනි මාසයේ දී සාර්ථක ව නිම කරන ලදී. බැංකු අතර ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ තොරතුරු සුරක්ෂිත ව සහ කාර්යක්ෂම ව බෙදා ගැනීමේ හැකියාව ලබා දෙන බ්ලොක්චේන් තාක්ෂණයේ ඇති සුවිශේෂී ලක්ෂණ කිහිපයක් මෙහි සොයා ගැනීම් තුළින් පෙන්නුම් කරන ලදී. මූල්‍ය සේවාවල නවෝත්පාදනයන් කිරීම සඳහා බ්ලොක්චේන් තාක්‍ෂණයට ඇති හැකියාව අධ්‍යයනය කිරීමේ අරමුණින් ශ්‍රී  ලංකා මහ බැංකුව විසින් ආරම්භ කරන ලද මෙම පුරෝගාමී ජාතික ව්‍යාපෘතියට බැංකු සහ තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ආයතන ස්වේච්ඡාවෙන් සහයෝගය ලබා දීම විශේෂ කරුණක් වේ.

ක්ෂේත්‍ර  පුරා විහිදුණු බ්ලොක්චේන් තාක්‍ෂණය පදනම් කර ගත් ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ හවුල් යාන්ත්‍රණය සඳහා සංකල්ප සාධන ක්‍රියාවලියක් ආරම්භ කිරීමේ අරමුණ වනුයේ මූල්‍ය සේවා ලබා ගැනීමේ දී ගනුදෙනුකරුවන්ගේ  අත්දැකීම්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම, මෙහෙයුම් පිරිවැය අවම කිරීම සහ බැංකු සහ අනිකුත් මූල්‍ය ආයතනවල මෙහෙයුම් අවදානම් අවම කිරීම වැනි කරුණුවල ශක්‍යතාව තක්සේරු කිරීමයි. ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම තුළින්, විශේෂයෙන් ම එය පහසු සහ වඩාත් ආරක්ෂාකාරී අයුරින් සිදු කිරීම මගින්, මූලික වශයෙන් බලාපොරොත්තු වනුයේ මූල්‍ය සේවා භාවිත කිරීම සඳහා ගනුදෙනුකරුවන් තවදුරටත් දිරි ගැන්වීම මෙන් ම ගනුදෙනුකරුවන් මූල්‍ය සේවා භාවිතයට ඇති නැඹුරුව ඉහළ නැංවීමයි.

බ්ලොක්චේන් තාක්‍ෂණය පදනම් කර ගත් ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ හවුල් යාන්ත්‍රණය සඳහා සංකල්ප සාධනය සාර්ථක ව නිම කිරීම තුළින් ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ඩිජිටල්කරණ ගමනෙහි මෙන් ම මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලියෙහි වැදගත් පියවරක් සනිටුහන් කළේ ය. 

 

 

 

Published Date: 

Thursday, October 28, 2021