ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 ජනවාරිි

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 ජනවාරි මාසයේ දී 56.2ක අගයක් වාර්තා කරමින් 2016 දෙසැම්බර් මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 2.1කින් පහළ යන ලදී. මෙම මන්දගාමීත්වය සඳහා නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකයන්ගෙන් පිළිබිඹු වූ ආකාරයට, උත්සව සමයෙන් පසු ව 2017 වසර සඳහා ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීම ප්‍රධාන වශයෙන් හේතු විය. ඉදිරියේ දී ඇති විය හැකි තොග පමාවීම්  සඳහා පූර්වෝපායයක් ලෙස ගැනුම් තොග එක් රැස් කිරීම හේතුවෙන් ගැනුම් තොග දර්ශකය ජනවාරි මාසයේ දී ඉහළ යන ලදී. එ මෙන් ම, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය ද ඉහළ යන ලදී. මේ අතර, සේවා නියුක්ති උප දර්ශකය ද පසුගිය මාසයට සාපේක්ෂ ව ඉහළ යන ලදී. මෙහි දී සියළු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදී. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරන ලදී. 

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 දෙසැම්බර් මාසයේ දී වාර්තා කළ 59.8ක දර්ශක අගයක සිට 2017 ජනවාරි මාසයේ දී 57.5ක දර්ශක අගයක් වාර්තා කරන ලදී. පසුගිය මාසයට සාපේක්ෂ ව ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙහි සිදු වූ මෙම පහළ යෑමෙන් 2017 ජනවාරි මාසයේ දී සේවා අංශයෙහි ආර්ථික ක්‍රියාකාරකම් පසුගිය මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කරයි. නව ව්‍යාපාර සහ ව්‍යාපාර ක්‍රියාකාරකම් යන උප දර්ශක අඩු වේගයකින් වර්ධනය වීම සහ නිම කිරීමට ඇති කාර්යයන් උප දර්ශකයෙහි සිදු වූ පහළ යෑම සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙහි සිදු වූ මෙම පහළ යෑමට හේතු විය. 2016 දෙසැම්බර් මාසය හා සැසඳීමේ දී 2017 ජනවාරි මාසයේ දී සේවා නියුක්ති උප දර්ශකය නො වෙනස් ව පැවැති අතර අපේක්ෂිත ඉදිරි ව්‍යාපාර ක්‍රියාකාරකම් උප දර්ශකය වර්ධනය විය. අය කරන මිල ගණන් සහ ඉදිරි ශ්‍රම පිරිවැය (ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ගණනය කිරීමේ දී සලකා නො බලන) 2017 ජනවාරි මාසයේ දී පසුගිය මාසයට සාපේක්ෂ ව ඉහළ යන ලදී. 2017 ජනවාරි මස සිට හඳුන්වා දුන් ශ්‍රම පිරිවැය පිළිබඳ අපේක්ෂා පිළිබිඹු කරන නව විචල්‍යය මගින් ඉදිරි ශ්‍රම පිරිවැය මනිනු ලබයි. 

සම්පූර්ණ ලිපිය

 

Published Date: 

Wednesday, February 15, 2017