”Government and CB have abdicated vital statutory duty by not being able to deal with rupee depreciation” යන මැයෙන් ඔක්තෝබර් 08 සහ 09 යන දිනවල විවිධ පුවත්පත්වල පළවූ ලිපිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පහත දැක්වෙන ප්‍රකාශය ඉදිරිපත් කිරීමට අදහස් කරයි.
ශ්‍රී ලංකාවේ ඵලදායි සම්පත් සංවර්ධනය දිරිගැන්වීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ දැක්ම සහිතව, අ) ආර්ථික හා මිල ස්ථායිතාව; සහ ආ) මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව සුරක්ෂිත කීරීමේ ව්‍යවස්ථාපිත වගකීම මුදල් නීති පනත මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පවරා ඇත. අභ්‍යන්තර හා බාහිර කම්පනයන්ට සාර්ථකව මුහුණදීමට ඇති හැකියාව මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව ලෙස හඳුන්වන අතර, ඉහළ සහ තිරසාර මට්ටමක ආර්ථික වර්ධනයට උපකාරී වන ආර්ථික සාධක පවත්වා ගැනීමට ඉවහල් වන ලෙස උද්ධමනය අඩු හා ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම මිල ස්ථායිතාව ලෙස නිර්වචනය කෙරේ.