ජේ. පී. ආර්. කරුණාරත්න මහතා

නියෝජ්‍ය අධිපති

ජේ. පී. ආර්. කරුණාරත්න මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්‍ෂණය සහ නියාමනය, ව්‍යවහාර මුදල් කළමනාකරණය, රාජ්‍ය ණය, ලේකම් දෙපාර්තමේන්තුව, මූල්‍ය දෙපාර්තමේන්තුව, ප්‍රතිපත්ති සමාලෝචනය සහ නිරීක්ෂණය යන ක්ෂේත්‍රයන්හි වසර 33 කට අධික කාලයක් විවිධ මට්ටම්වලින් සේවය කර ඇත. බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂ සහ ව්‍යවහාර මුදල් අධිකාරී ලෙස කටයුතු කර ඇති ඔහු, බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ නෛතික හා නියාමන රාමුව ශක්තිමත් කිරීමට දායක වී ඇති අතර බැංකු මුල්‍ය ආයතන අංශය ඒකාබද්ධ කිරීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත. නියෝජ්‍ය අධිපති ලෙස පත්වීමට පෙර ජේ. පී. ආර්. කරුණාරත්න මහතා සහකාර අධිපති තනතුර දැරූ අතර බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ, මූල්‍ය සහ පහසුකම් කළමනාකරණ යන දෙපාර්තමේන්තු භාර ව කටයුතු කළේය. සහකාර අධිපතිවරයෙකු ලෙස කරුණාරත්න මහතා මීට පෙර තවත් දෙපාර්තමේන්තු කිහිපයක, එනම්, සාර්ව විචක්ෂණ අධ්‍යයනය, නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුව, විදේශ විනිමය, ව්‍යවහාර මුදල්, ප්‍රාදේශීය සංවර්ධනය, නීති සහ අනුකූලතා කටයුතු, අවදානම් කළමනාකරණය, බැංකු විදු පියස, ආරක්ෂක සේවා සහ කාර්යමණ්ඩල සේවා කළමනාකරණය යන දෙපාර්තමේන්තු අධීක්ෂණය කර ඇත.

ඔහු මුදල් මණ්ඩලයේ ලේකම්, මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුවේ ලේකම්, මුදල් මණ්ඩල උපදේශක විගණන කමිටුවේ ලේකම් සහ ආචාර ධර්ම කමිටුවේ ලේකම් ලෙස කටයුතු කර ඇත. තවද, ඔහු ආරක්ෂක අමාත්‍යාංශයට නිදහස් කර තිබූ අතර එහි දී ඔහු මූල්‍ය උපදේශකයෙකු ලෙස සේවය කළේය. 2009 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත් කරන ලද වරලත් ගණකාධිකාරීවරුන්ගේ කමිටු ලේකම් කාර්යාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස ද ඔහු ව පත් කෙරිණි.

ඔහු ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ (CMA) මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත. 2023 CMA ශ්‍රී ලංකා ජාතික කළමනාකරණ ගිණුම්කරණ සම්මන්ත්‍රණයේ දී වෘත්තියට කළ සේවය අගයමින් CMA ශ්‍රී ලංකා ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් කරුණාරත්න මහතා පිදුම් ලැබුවේ ය. ශ්‍රී ලංකා බැංකු ආයතනයෙහි (IBSL) හි සම්පත් දායකයෙකු ලෙස ඔහුගේ දිගු වෘත්තීය ජීවිතය සහ දායකත්වය අගයමින් 2019 වසරේ දී ශ්‍රී ලංකා බැකු ආයතනයෙහි දීර්ඝ කාලීන සේවා සම්මානය ද ඔහු ට හිමි විය.

ඔහු අග්නිදිග ආසියානු මහ බැංකුවල (SEACEN) මැලේසියාවේ “SEACEN රටවල බාසල් III අභියෝග සහ අවස්ථා ක්‍රියාත්මක කිරීම” පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතියෙහි ව්‍යාපෘති කණ්ඩායම් නායකයා වූ අතර, SEACEN විසින් 2013 දී මෙම පර්යේෂණය ප්‍රකාශයට පත් කරන ලදී. ඔහු වර්තමානයේ දී අභ්‍යන්තර සහ බාහිර කමිටු කිහිපයක සාමාජිකයෙකු ලෙස සේවය කරයි.

කරුණාරත්න මහතා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය පිළිබඳ වාණිජ ශාස්ත්‍රපති උපාධියක් සහ ව්‍යවහාරික සංඛ්‍යාලේඛන පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම පන්තියක් සහිත ව විද්‍යාවේදී (භෞතික විද්‍යාව) උපාධියක් ලබා ඇත. ඔහු එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ (CIMA) ආයතනයේ අධි සාමාජිකයෙකු වන අතර වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරීවරයෙකු (CGMA) ද වේ. තවද, ඔහු ශ්‍රී ලංකා සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ (CMA Sri Lanka) හි ආශ්‍රිත සාමාජිකයෙකි.