‘A Step by Step Guide to Doing Business in Sri Lanka’ ප්‍රකාශනය

"A Step by Step Guide to Doing Business in Sri Lanka" ප්‍රකාශනයේ නවවන සංස්කරණය (ඉංග්‍රීසි), ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජන පරිශීලනය සඳහා නිකුත් කර ඇත. ව්‍යාපාරික ප්‍රජාවට සහ විදේශීය ආයෝජකයින්ට ප්‍රයෝජනවත් වන තොරතුරු වලින් සමන්විත මූලාශ්‍රයක් වන මෙය පරිහරණය කිරීම මඟින් එවැනි තොරතුරු ලබාගැනිම සඳහා ගතවන කාලය සහ පිරිවැය ඉතිරි කරගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරයක් ආරම්භ කිරීම, පවත්වාගෙන යාම සහ අවසන් කිරීම සම්බන්ධයෙන් දැනට පවත්නා රෙගුලාසි පිළිබඳ තොරතුරු මෙන්ම ඉදිරියේදි ව්‍යාපාරයක් ඇරඹීමට සැලසුම් කරන ව්‍යවසායකයින් සඳහා වැදගත් වන අනෙකුත් තොරතුරු ද මෙහි ඇතුලත් කොට තිබේ.

මෙහි අඩංගු තොරතුරු ‘ව්‍යාපාරයක් ආරම්භ කිරීම’, ‘ව්‍යාපාරයක් පවත්වාගෙන යාම’ සහ ‘අනෙකුත් ක්‍රියාකාරකම්’ යන ප්‍රධාන පරිච්ඡේද තුනක් යටතේ වර්ගීකරණය කර ඇති අතර එක් එක් පරිච්ඡේදය තුළ අදාළ ආයතන, ලේඛනමය අවශ්‍යතා, නියාමන අවසර ලබා ගැනීම් පිළිබඳ තොරතුරු මෙන්ම ඒ සඳහා වැයවන පිරිවැය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ද, වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා අවශ්‍ය වන සම්බන්ධතා තොරතුරු ද අන්තර්ගත වේ.

ඉහත කරුණු වලට අදාලව 2021 වසරේ මැද භාගය වනතෙක් සිදුවු සංශෝධන පිළිබඳව අදාළ ආයතන වලින් තහවුරු කරන ලද තොරතුරු මෙහි ඇතුළත් කොට තිබේ.

මෙහි වෙබ් පිටපත ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් (http://www.cbsl.gov.lk) ලබා ගත හැක. මුද්‍රිත පිටපත් කොළඹ 01, චැතැම් වීදීයේ, සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ලෙහි (දුරකථන අංක: 011-2444502) හා රාජගිරියේ, ශ්‍රී ජයවර්ධනපුර මාවතේ අංක 58, බැංකු විදු පියෙසෙහි (දුරකථන අංක: 011-2477803) පිහිටුවා ඇති බෙදාහැරීමේ කවුළු වලින් සහ මාතර, මාතලේ, නුවරඑළිය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය හා අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාලවල පිහිටුවා ඇති බෙදාහැරීම් කවුළු වලින් මිල දී ගත හැකිය.

PDF බාගත කරන්න

Published Date: 

Tuesday, October 5, 2021