ජා.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 ජූලි මාසයේ දී සියයට 66.7ක් වශයෙන් වාර්තා විය

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ජුනි මාසයේ පැවති සියයට 58.9හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 66.7ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජුනි මාසයේ පැවති සියයට 75.8හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 82.5 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජුනි මාසයේ පැවති සියයට 43.6හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 52.4 දක්වා ඉහළ ගියේය. 

2022 ජූලි මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 5.57ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 2.42කින් සහ සියයට 3.15කින් ඉහළ යෑම මේ සදහා හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩය තුළ, කිරිපිටි, සහල්, නැවුම් මත්ස්‍ය, බිස්කට්, සහ කුකුල් මස් මිල ගණන් ඉහළ ගියේය. එසේ වුවද,  එළවළු, පොල් තෙල් සහ පොල් මිල ගණන් වල පහළ යෑමක් මෙම මාසය තුළ දී වාර්තා විය. මේ අතර, ආහාර නොවන කාණ්ඩය තුළ 2022 ජූලි මාසයේ දී, ප්‍රවාහන (බස් ගාස්තු, පෙට්‍රල් සහ ඩීසල්), ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව (සබන්), හා නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය) යන උප කාණ්ඩයන්හි  අයිතමවල මිල ගණන් ඉහළ ගියේය. 

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, August 22, 2022