ජා.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2020 ජූලි මාසයේ දී පහළ යන ලදී

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජුනි මාසයේ පැවති සියයට 6.3හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 6.1 දක්වා පහළ ගියේය. 2019 ජූලි මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, 2020 ජුනි මාසයේ දී සියයට 13.6හි පැවති ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය, 2020 ජූලි මාසයේ දී සියයට 12.9 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජුනි මාසයේ පැවති සියයට 0.8හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 1.0 දක්වා ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස, 2020 ජුනි මාසයේ පැවති සියයට 5.6හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 5.9 දක්වා ඉහළ ගියේය.

2020 ජූලි මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 0.0ක් ලෙස වාර්තා විය. ආහාර කාණ්ඩයේ මිල ගණන් සියයට 0.15කින් පහළ යෑම, ආහාර නොවන කාණ්ඩයේ ඒ හා සමාන ප්‍රතිශතයකින් සිදු වූ මිල ඉහළ යෑම මගින් තුලනය වීම මේ සඳහා හේතු විය. ඒ අනුව, 2020 ජූලි මාසයේ දී ආහාර කාණ්ඩයෙහි එළවළු, රතු ළූණු, දෙහි සහ සහල් මිල ගණන්වල පහළ යෑමක් ද, ආහාර නොවන කාණ්ඩයෙහි ආපනශාලා සහ හෝටල්; මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ; සහ සෞඛ්‍ය යන උපකාණ්ඩවල අයිතමයන්හි මිල ගණන්වල ඉහළ යෑමක් ද වාර්තා විය.

තවද, ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2020 ජුනි මාසයේ දී පැවති සියයට 4.4හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 4.5 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 ජුනි මාසයේ දී පැවති සියයට 4.6හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 4.5 දක්වා පහළ ගියේය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, August 21, 2020