කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 අගෝස්තු මාසයේ දී පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජූලි මාසයේ පැවති සියයට 4.2හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගියේය. 2019 අගෝස්තු මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති සියයට 10.9හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 12.3 දක්වා ඉහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති සියයට 1.5හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 0.8 දක්වා පහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස, 2020 අගෝස්තු මාසයේ දී සියයට 4.8ක් ලෙස නොවෙනස්ව පැවතුණි.

2020 අගෝස්තු මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 0.0ක් ලෙස වාර්තා විය. ආහාර කාණ්ඩයේ මිල ගණන් සියයට 0.1කින් ඉහළ යෑම, ආහාර නොවන කාණ්ඩයේ ඒ හා සමාන ප්‍රතිශතයකින් සිදු වූ මිල පහළ යෑම මගින් තුලනය වීම මේ සඳහා හේතු විය. ඒ අනුව, 2020 අගෝස්තු මාසයේ දී ආහාර කාණ්ඩයෙහි පොල්, එළවළු සහ කහ මිල ගණන්වල ඉහළ යෑමක් වාර්තා විය. කෙසේ වුවද, නැවුම් මත්ස්‍ය සහ දෙහි මිල ගණන්වල සැලකිය යුතු පහළ යෑමක් මෙම මාසයේ දී වාර්තා විය. ආහාර නොවන කාණ්ඩයෙහි, සෞඛ්‍ය (වෛද්‍ය රසායනාගාර සඳහා ගෙවීම්) උපකාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්, 2020 අගෝස්තු මාසයේ දී පහළ ගියේය.

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන මූලික උද්ධමනය, 2020 අගෝස්තු මාසයේ දී සියයට 3.2ක් ලෙස නොවෙනස්ව පැවතුණි. කෙසේ වුවද, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 ජූලි මාසයේ දී පැවති සියයට 4.0හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 3.8 දක්වා තවදුරටත් පහළ ගියේය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, August 31, 2020