2019 නොවැම්බර් මාසයේ දී උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.6 හි සිට 2019 නොවැම්බර් මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගිය අතර 2018 නොවැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා දායක විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 ඔක්තෝබර් මාසයේ දී පැවති සියයට 7.3 හි සිට 2019 නොවැම්බර් මාසයේ දී සියයට 4.0 දක්වා සැලකිය යුතු ලෙස පහළ ගිය අතර ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 4.3 හි සිට 2019 නොවැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් පහළ ගියේ ය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන පාරිභෝගික මිල දර්ශකයේ වෙනස, 2019 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 2.8 හි සිට 2019 නොවැම්බර් මාසයේ දී සියයට 3.0 දක්වා ඉහළ ගියේ ය.

පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස සියයට 0.8ක් ලෙස වාර්තා වූ අතර, ඒ සඳහා හේතු වූයේ ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි දක්නට ලැබුණු ඉහළ යෑම් පමණි. ආහාර කාණ්ඩයේ සහල්, එළවළු, රතු ළූණු සහ පොල් මිල ගණන්වල ඉහළ යෑම් වාර්තා විය. මේ අතර, මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ; සහ නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන යන උපකාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් පහළ යෑම හේතුවෙන් ආහාර නො වන කාණ්ඩයේ අයිතමවල මිල ගණන් සුළු වශයෙන් පහළ ගියේ ය.

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2019 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.6 හි සිට 2019 නොවැම්බර් මාසයේ දී සියයට 5.5 දක්වා පහළ ගියේ ය. කෙසේ වුව ද, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2019 ඔක්තෝබර් මාසයේ දී පැවති සියයට 5.4 හි සිට 2019 නොවැම්බර් මාසයේ දී සියයට 5.6 දක්වා ඉහළ ගියේ ය.

සම්පුර්ණ ලිපිය

 

Published Date: 

Monday, December 23, 2019