2018 මාර්තු මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2017 නොවැම්බර් මස සිට අඛණ්ඩ ව පහළ යන නැඹුරුවක් පෙන්නුම් කළේ ය. ඒ අනුව, ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 පෙබරවාරි මාසයේ පැවති සියයට 3.2ට සාපේක්ෂ ව 2016 අප්‍රේල් මස සිට වාර්තා වූ අඩු ම අගය වන සියයට 2.8ක් දක්වා 2018 මාර්තු මාසයේ දී පහළ ගියේ ය. 2018 මාර්තු මාසයේ දී පැවති සතුටුදායක සැපයුම් තත්ත්ව හේතුවෙන් ආහාර මිල ගණන්වල සිදු වූ මාසික පහළ යෑම 2018 මාර්තු මස ලක්ෂ්‍යමය උද්ධමනයේ සිදු වූ මෙම සැලකිය යුතු පහළ යෑමට හේතු විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2018 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට 7.2 සිට 2018 මාර්තු මාසයේ දී  සියයට 6.7 දක්වා පහළ ගියේ ය.

මාසික වෙනස්වීම සැලකූ විට, ආහාර කාණ්ඩයට අයත් අයිතමවල මිල ගණන් පහළ යෑම, විශේෂයෙන් එළවළු, ලොකු ළූණු, සහල් සහ රතු ළූණු මිල ගණන් පහළ යෑම හේතුවෙන් ජාතික පාරිභෝගික මිල දර්ශකය 2018 පෙබරවාරි මාසයේ වාර්තා වූ දර්ශක අංක 123.7 සිට 2018 මාර්තු මාසයේ දී දර්ශක අංක 122.8 දක්වා පහළ ගියේ ය. මේ අතර, මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ, ප්‍රවාහන, සහ විවිධ භාණ්ඩ හා සේවා උප කාණ්ඩවල සුළු මිල ඉහළ යෑම් දක්නට ලැබිණි.

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය, 2017 සැප්තැම්බර් මාසයේ සිට පෙන්නුම් කළ ආකාරයට තවදුරටත් පහළ යෑමේ නැඹුරුවක් අනුගමනය කරමින් ලක්ෂ්‍යමය පදනම මත 2018 පෙබරවාරි මාසයේ දී පැවති සියයට 2.0 සිට 2018 මාර්තු මාසයේ දී සියයට 1.9 දක්වා පහළ ගියේ ය. වාර්ෂික සාමාන්‍ය මුලික උද්ධමනය 2018 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට 4.1 සිට 2018 මාර්තු මාසයේ දී සියයට 3.6 දක්වා පහළ ගියේ ය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, April 23, 2018