2018 පෙබරවාරි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

2018 පෙබරවාරි මාසයේ දී වෙළෙඳ හිඟයෙේ සැලකිය යුතු පුළුල් වීම මධ්‍යයේ වුව ද සංචාරක පැමිණීම්හි සිදු වූ කැපී පෙනෙන වර්ධනය සහ කොටස් වෙළෙඳපොළ වෙත වූ අඛණ්ඩ ශුද්ධ විදේශීය ලැබීම් තුළින් විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය විදහා දැක්වුණි. රත්‍රං ආනයනයේ සිදු වූ ශීඝ්‍ර වැඩි වීම ආසන්න වශයෙන් වසර තුන හමාරක කාලය තුළ දී සමස්ත වෙළෙඳ භාණ්ඩ ආනයනයෙේ සිදු වූ වේගවත් ම වර්ධනය සඳහා මූලික ව ම හේතු වූ අතර එය 2018 පෙබරවාරි මාසයේ දී වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල් වීම සඳහා හේතු විය. 2018 ජනවාරි මාසයේ දී දක්නට ලැබුණු වර්ධන ප්‍රවණතාව අඛණ්ඩ ව පවත්වා ගනිමින් 2018 පෙබරවාරි මාසයේ දී සංචාරක ඉපැයීම් සැලකිය යුතු ලෙස වැඩි විය. කෙ සේ වුවත්, ජනවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල දක්නට ලැබුණු වර්ධනයෙන් අනතුරු ව 2018 පෙබරවාරි මාසයේ දී එහි අඩු වීමක් පෙන්නුම් කළේ ය. 2018 පෙබරවාරි මාසයේ දී ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම තුළ කොටස් වෙ‍ළෙඳපොළ වෙත වූ විදේශීය ආයෝජන ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, එය රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙේ වූ ශුද්ධ ගෙවීම මගින් වන බලපෑම අවම කිරීම සඳහා දායක විය. 2018 අප්‍රේල් මාසයේ දී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර දෙකක් සාර්ථක ව නිකුත් කිරීම තුළින් ගෙවුම් තුලනය තවදුරටත් ශක්තිමත් වූ අතර, එ මගින් 2018 අප්‍රේල් මාසය අවසානය වන විට දළ නිල සංචිත මේ දක්වා වාර්තා වූ ඇස්තමේන්තුගත ඉහළ ම මට්ටම වන එක්සත් ජනපද ඩොලර් බිලියන 9.9ක් දක්වා වර්ධනය විය. මේ අතර, 2018 වසරේ මැයි මස 11 දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව ශ්‍රී ලංකා රුපියල සියයට 3.2කින් අවප්‍රමාණය විය. 

සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, May 11, 2018