2017 දෙසැම්බර් මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2017 නොවැම්බර් මාසයේ පැවැති සියයට 8.4ට සාපේක්ෂ ව 2017 දෙසැම්බර් මාසයේ දී සියයට 7.3ක් දක්වා පහළ ගියේ ය. 2016 දෙසැම්බර් මාසයේ දී පැවැති ඉහළ පදනම් අගය මෙම පහළ යෑමට හේතු විය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2017 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 7.5 හි සිට 2017 දෙසැම්බර් මාසයේ දී සියයට 7.7 දක්වා ඉහළ ගියේ ය.

මාසික වෙනස්වීම් සැලකූ විට, ජාතික පාරිභෝගික මිල දර්ශකය 2017 නොවැම්බර් මාසයේ වාර්තා වූ දර්ශක අංක 124.6හි සිට 2017 දෙසැම්බර් මාසයේ දී දර්ශක අංක 126.6 දක්වා ඉහළ ගියේ ය. ආහාර කාණ්ඩයට අයත් අයිතමයන්හි මිල ගණන් ඉහළ යෑම මෙම සුළු මාසික ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය. එළවළු, මාළු සහ රතු ළුෑණුවල මිල ගණන් ඉහළ යෑමක් දක්නට ලැබුණි. කෙ‍ සේ නමුත් සහල්, අමු මිරිස් සහ කෙසෙල් මිල ගණන් පහළ ගියේ ය. ආහාර නො වන කාණ්ඩයේ සැලකිය යුතු මිල ඉහළ යෑමක් වාර්තා නො විණි. 

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය වසරේ මුල් මාසවල සිට පෙන්නුම් කළ ආකාරයට තවදුරටත් පහළ යෑමේ නැඹුරුවක් අනුගමනය කළේ ය. ඒ අනුව, ලක්ෂ්‍යමය පදනම මත 2017 නොවැම්බර් මාසයේ දී පැවැති සියයට 2.8හි සිට 2017 දෙසැම්බර් මාසයේ දී සියයට 2.7 දක්වා පහළ ගියේ ය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2017 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 5.2 හි සිට 2017 දෙසැම්බර් මාසයේ දී සියයට 4.9 දක්වා පහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, January 22, 2018