ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, 2018 අගෝස්තු 01 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. රක්ෂණ අංශයට අදාළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ, අවදානම මත පදනම් කරගත් අධීක්ෂණ තුළින් අනාවරණය වූ තොරතුරු හුවමාරු කර ගැනීමේ රාමුවක් සැකසීම මෙහි පරමාර්ථය විය.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, දමයන්ති ප්‍රනාන්දු මහත්මිය සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ, ඩී. එම්. රූපසිංහ මහතා විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති, මනෝ තිත්තවැල්ල මහතා ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී.

දේශීය හා ගෝලීය ආර්ථිකයට සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවයට තර්ජනයක් වන, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම හා ඊට සම්බන්ධිත අනෙකුත් මූල්‍ය අපරාධ වැළැක්වීමේ ජාතික යාන්ත්‍රණයට අනුකූලවීම සඳහා රක්ෂණ ක්ෂේත්‍රයේ සහභාගීත්වය ද ඉතා වැදගත් වේ. රක්ෂණ ක්ෂේත්‍රයෙහි නියාමන හා පාලන අධිකාරිය වන ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් එම ක්ෂේත්‍රය, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුවට අනුකූල කරවීම සඳහා, අවදානම මත පදනම් වූ අධීක්ෂණයන් සිදුකර, එම අධීක්ෂණයන් තුළින් අනාවරණය කරගන්නා තොරතුරු මූල්‍ය බුද්ධි ඒකකය සමඟ හුවමාරු කර ගනු ඇත.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව ශක්තිමත් කිරීම සඳහා, තොරතුරු හුවමාරු කර ගැනීමේ අරමුණ ඇතිව මූල්‍ය බුද්ධි ඒකකය මේ වන විට, විදේශීය පාර්ශ්ව 37 ක් සමග මෙන්ම ශ්‍රී ලංකා රේගුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව යන දේශීය රාජ්‍ය ආයතන 6 සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළැඹී ඇත. 2018 අගෝස්තු 01 වන දින මූල්‍ය බුද්ධි ඒකකය සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම හරහා, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අධීක්ෂණයන්ට අදාළ තොරතුරු හුවමාරු කරගැනීමට හැකිවන අතර, එමඟින්, මෙම ආයතන දෙකෙහිම නියාමන/ අධීක්ෂණ හැකියාව වැඩිදියුණු කරගත හැක.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, දමයන්ති ප්‍රනාන්දු මහත්මිය සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ, ඩී. එම්. රූපසිංහ මහතා අවබෝධතා ගිවිසුම හුවමාරු ගත් අතර මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී. ජේ. පී. සිරිවර්ධන මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති එච්. ඒ. කරුණාරත්න මහතා සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති මනෝ තිත්තවැල්ල මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, August 27, 2018