ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය තවදුරටත් අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජූනි මස 16 වන දින පැවති රැස්වීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 ජුනි 16 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වා ගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කළේ ය. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම තුළින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයෙන අතර, එමගින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත්  ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව ලබා දෙයි. 

ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150කින් අඩු කිරීම සහ බැංකු අනුපාතිකය පදනම් අංක 550කින් අඩු කිරීම ඇතුළු ව, දැනටමත් ක්‍රියාවට නංවා ඇති අනෙකුත් බොහෝ ලිහිල්කරණ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අමතර ව අද දින මෙම තීරණයත් සමඟ 2020 වසරේ මේ දක්වා කාලය තුළ දී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පදනම් අංක 300කින් පහළ දමා ඇත. 

අඩු පිරිවැයක් යටතේ ව්‍යාපාර සහ කුටුම්භ වෙත ණය ලබාදීම ඉහළ නංවමින් මූල්‍ය අංශය විසින් ඉහළ මට්ටමේ ද්‍රවශීලතාව සහ අරමුදල් පිරිවැය පහළ යෑමෙහි ප්‍රතිලාභය ආර්ථිකය වෙත ප්‍රමාදයකින් තොර ව ලබා දීම සඳහා කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මුදල් මණ්ඩලය විසින් ආර්ථික සහ මූල්‍ය වෙළෙඳපොළ වර්ධනයන් අඛණ්ඩ ව සුපරීක්ෂණය කරනු ඇති අතර, ඉදිරි කාලයේ දී ආර්ථික ක්‍රියාකාරිත්වයෙහි තිරසාර නඟා සිටුවීමකට සහාය වීම සඳහා තවදුරටත් ප්‍රතිපත්ති සහ නියාමන ක්‍රියාමාර්ග ගනු ඇත.

 

Published Date: 

Tuesday, June 16, 2020