ශ්‍රී ලංකා මහ බැංකුව - ආසියානු සංවර්ධන බැංකු ආයතනය - ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒකාබද්ධ මාර්ගගත සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සම-සත්කාරකත්වය දරයි

ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ (Asian Development Bank Institute-ADBI) සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ (Asia-Pacific Applied Economics Association-APAEA) සහයෝගය ඇතිව, 2021 වසරේ සැප්තැම්බර් මස 30 වැනි දින පැවැත්වූ ශ්‍රී ලංකා මහ බැංකුව-ආසියානු සංවර්ධන බැංකු ආයතනය-ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒකාබද්ධ මාර්ගගත සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව දෙවන වසර සඳහාත් සම-සත්කාරකත්වය දැරීය. සාර්ව ආර්ථික ස්ථායීතාව සඳහා මතුවෙමින් පවතින ගැටලු (Emerging Issues for Macroeconomic Stability) මෙම වසරේ තේමාව විය.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමුළුවේ සමාරම්භක දේශනය ඉදිරිපත් කළේය. විශේෂයෙන්ම වර්තමානයේ දී ගෝලීය වශයෙන් අත්දකින අස්ථාවර ආර්ථික හා මූල්‍ය වෙළෙඳපොළ තත්ත්වයන් මධ්‍යයේ, දත්ත සහ තොරතුරු පදනම් කරගත් තීරණ ගැනීම සඳහා ආර්ථික පර්යේෂණවල වැදගත්කම අධිපතිතුමා අවධාරණය කළේය. තවද, සමස්ත ගෝලීය ආර්ථිකයම පෙර නොවූ විරූ සමාජ ආර්ථික අර්බුදකාරී කාලපරිච්ඡේදයක පවතින තත්ත්වයක් යටතේ පාර්ශ්වකරුවන් අතර විශ්වාසය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අධිපතිතුමා අවධාරණය කළේය. සාර්ව ආර්ථික ස්ථායීතාව සහතික කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට සහාය වන, ආර්ථික ගැටලු සවිස්තරාත්මකව පරීක්ෂා කිරීමට සහ දැනුම්වත් විශ්ලේෂණයක් සිදු කිරීමට මෙවැනි පර්යේෂණ අවස්ථා මගින් හැකියාව ලැබෙන බව අධිපතිතුමා වැඩිදුරටත් පැවසීය. ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ පීඨාධිපති සහ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ටෙට්සුෂි සොනොබෙ මහතා ප්‍රතිපත්ති මූලික සහ ඒකාබද්ධ පර්යේෂණ පුළුල් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ආරම්භක අදහස් දැක්වීම සිදු කළේය.

මහ බැංකුවේ, ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ කර්තෘවරුන්ගේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ සැසි වාර දෙකකින් මෙම සමුළුව සමන්විත විය. මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති මහින්ද සිරිවර්ධන මහතා සහ ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක අර්ථශාස්ත්‍රඥ සහ පර්යේෂණ අංශයේ උප සභාපති ආචාර්ය පීටර් ජේ. මෝගන් මෙම සැසිවාරයන්හි මුලසුන හෙබවූහ.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Tuesday, October 5, 2021