ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2020 ජූනි

සංචරණ සඳහා පනවා තිබූ සීමාවන් සම්පූර්ණයෙන් ම ලිහිල් කිරීමත් සමඟ රටේ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් වීම හේතු කොට ගෙන නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2020 ජූනි මාසයේ දී සැලකිය යුතු ලෙස ඉහළ  ගියේ ය. ඒ අනුව 2020 මැයි මාසයට සාපේක්ෂ ව දර්ශකාංක 18.0කින් ඉහළ යමින් 2020 ජූනි මාසයේ දී 67.3ක අගයක් වාර්තා කළේ ය.

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළ යෑම කෙරෙහි නිෂ්පාදනය, නව ඇණවුම් සහ සේවා නියුක්තිය පෙර මාසයට සාපේක්ෂ ව සැලකිය යුතු ලෙස වර්ධනය වීම හේතු විය. මේ සඳහා විශේෂයෙන් ම  ආහාර හා පාන වර්ග නිෂ්පාදන සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන උප අංශ දායක විය.  ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බොහෝ දෙනෙකු අවධාරණය කළේ ප්‍රධාන වශයෙන් දේශීය ව පැවැති ඉල්ලුම හේතුවෙන් නව ඇණවුම් ප්‍රමාණය පසුගිය මාසයට සාපේක්ෂ ව ජූනි මාසයේ දී ඉහළ ගිය හෙයින් ඔවුන්ගේ කර්මාන්තශාලා ජූනි මාසය පුරා ම ක්‍රියාත්මක වූ බවයි. නව ඇණවුම්වල සිදුවු ඉහළ යෑමට සමගාමී ව මෙම මාසය තුළ දී නිෂ්පාදනය හා තොග මිලදී ගැනුම් ද ඉහළ ගියේ ය.

නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සිදු වූ වර්ධනයත් සමඟ ම සේවා නියුක්තිය උප දර්ශකය කඩඉම් මට්ටම වන 50 සීමාව ඉක්මවී ය. COVID-19 වසංගතය ගෝලීය සැපයුම් කෙරෙහි අහිතකර ලෙස බලපානු ලැබූ හෙයින් මෙම කාල සීමාව තුළ දී ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය මන්දගාමී ව වුව ද ඉහළ ගියේ ය.

සම්පූර්ණ ලිපිය

 

Published Date: 

Wednesday, July 15, 2020