ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2018 මාර්තු

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ 55.6ක දර්ශක අගයට සාපේක්ෂ ව, මාර්තු මාසයේ දී මාස 12කින් වාර්තා වූ ඉහළ ම අගය වාර්තා කරමින්, 65.6ක දර්ශක අගයක් වාර්තා කළේ ය. මෙ මගින් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන අතර එය පසුගිය වසරවල පැවැති ප්‍රවණතාවන්ට ද අනුකූල විය. නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළ යෑම කෙරෙහි, නව ඇණවුම් සහ නිෂ්පාදන උපදර්ශකයන්හි ඉහළ යෑම මගින් ද පෙන්නුම් කළ පරිදි, උත්සව සමයේ ඇති වන ඉල්ලුමේ වර්ධනය හේතු විය. ගැනුම් තොග සහ සේවා නියුක්තිය යන උප දර්ශක ද පසුගිය මාසයට සාපේක්ෂ ව ඉහළ ගියේ ය. තව ද, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය ඉහළ යෑම ද, සමස්ථ දර්ශකයේ ඉහළ යෑම සඳහා ධනාත්මක ව බලපෑවේ ය. කෙ සේ වුව ද, බොහොමයක් ප්‍රතිචාර දක්වන්නන්, විශේෂයෙන් ම රෙදිපිළි සහ නිමි ඇඳුම් අංශයේ, පුහුණු සහ නුපුහුණු ශ්‍රමිකයන් සොයා ගැනීම අපහසු කටයුත්තක් බව සඳහන් කළේ ය. එ සේ වුව ද, ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සියලු ම උපදර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරමින්, 2018 මාර්තු මාසයේ දී සමස්තයක් ලෙස නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කළේ ය. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් ද යහපත් බව පෙන්නුම් කරයි.

 

සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ 58.4ක දර්ශක අගයට සාපේක්ෂ ව මාර්තු මාසයේ දී 58.0ක දර්ශක අගයක් වාර්තා කළේ ය. නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම්, සේවා නියුක්තිය සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම් යන උප දර්ශකවල දායකත්වයෙන් 2018 මාර්තු මාසයේ දී සේවා අංශය, අඩු වේගයකින් වුව ද, වර්ධනය වූ බව මෙ මගින් පෙන්නුම් කෙරෙයි. මුල්‍ය සේවා, රක්ෂණ සහ තොග සහ සිල්ලර වෙළඳාම යන අංශවල නව ව්‍යාපාර වර්ධනය ඉහළ මට්ටමක පැවැති බව දක්නට ලැබිණි. සාමාන්‍යයෙන් පෙබරවාරි මාසයට සාපේක්ෂ ව මාර්තු මාසයේ දී ව්‍යාපාර ක්‍රියාකාරකම්වල සෘතුමය ඉහළ යෑමක් දක්නට ලැබුණ ද ව්‍යාපාර ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය වීම මෙ වර සමීක්ෂණයේ දක්නට ලැබුණු විශේෂ ප්‍රවණතාවකි. ව්‍යාපාර ක්‍රියාකාරකම්වල මෙම මධ්‍යස්ථ වර්ධනය විශේෂයෙන් ම නවාතැන් සහ ආහාරපාන සැපයීමේ සේවා, ප්‍රවාහන සහ තොග සහ සිල්ලර වෙළඳාම යන අංශවල දක්නට ලැබිණි. රටේ විවිධ ප්‍රදේශවල පැවති ජනවාර්ගික නොසන්සුන්තා 2018 මාර්තු මාසයේ දී ව්‍යාපාර ක්‍රියාකාරකම්වලට බල පෑ බව සමීක්ෂණයට ප්‍රතිචාර දක්වන්නන් ප්‍රකාශ කළේ ය. පෙර මාසයේ දී දක්නට ලැබුණු උපනතිය අඛණ්ඩ ව ඉදිරියට ගෙන යමින්, සේවා නියුක්තිය ඉහළ යෑම මධ්‍යයේ, 2018 මාර්තු මාසයේ දී නිම කිරීමට ඇති කාර්යයන් පහළ ගිය අතර අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්වල මධ්‍යස්ථ වර්ධනයක් දක්නට ලැබිණි. ඉදිරි කාලයේ දී ඇති විය හැකි වැටුප් වර්ධන සහ උත්සව සමයේ ලබා දෙන දිරිදීමනා හේතුවෙන් අපේක්ෂිත ශ්‍රම පිරිවැය ඉහළ ගිය අතර, සේවා අංශයේ අය කරන මිල ගණන් අඩු වේගයකින් ඉහළ ගියේ ය.

 

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, April 16, 2018