ශ්‍රි ලංකා මහ බැංකුව ඉන්දියානු සංචිත බැංකුව සමඟ මුදල් හුවමාරු ගිවිසුමකට එළඹේ

දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (SAARC) රටවල් වෙත 2019-2022 කාලය සඳහා පිරිනමනු ලබන මුදල් හුවමාරු පහසුකම් රාමුව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව,  ඉන්දියානු සංචිත බැංකුව සමග මුදල් හුවමාරු ගිවිසුමකට 2020 ජූලි මස 24 වන දින එළඹිණි. මෙමගින් රටේ කෙටිකාලීන ගෙවුම් ශේෂ අවශ්‍යතාවන් මූල්‍යනය කරගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට පහසුකමක් සැලසේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මෙම  මුදල් හුවමාරු පහසුකම සඳහා එළඹීමෙහි අරමුණ වූයේ ස්ථාවර විදේශ විනිමය සංචිත තත්ත්වයක්  සුරක්ෂිත කර ගනිමින්,  ප්‍රමාණවත් කෙටිකාලීන විදේශ විනිමය ද්‍රවශීලතාවයක් පවත්වා ගැනීමයි. ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින අභියෝගාත්මක බාහිර ආර් ථික පරිසරයට ප්‍රධානම හේතුව වනුයේ කොවිඩ් - 19 වසංගත තත්වයයි. 

මෙම මුදල් හුවමාරු පහසුකම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර් දේශ යටතේ කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මෙම මුදල් හුවමාරු පහසුකම යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුවට එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක් ප්‍රථමයෙන් මාස තුනක කාලයක් සඳහා ලබා ගත හැකිය. දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ රටවල් වෙත පිරිනමනු ලබන මුදල් හුවමාරු පහසුකම් රාමුවෙහි කොන්දේසිවලට අනුකූලව, පසුව, මෙම මුදල් හුවමාරු පහසුකම වරකට තෙමස් කාලපරිච්ඡේදයක් බැගින් දෙවරක් නැවත ලබාගත හැකිය.

ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ද, ඉන්දියානු සංචිත බැංකුව වෙනුවෙන් එහි කලාපීය අධ්‍යක්ෂක අජේ කුමාර් මහතා ද මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

මෙම පහසුකමට අමතරව, විශේෂ ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ, අතිරේක වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන එකක මුදල් පහසුකමක් ලබාගැනීම සඳහා ඉන්දියානු සංචිත බැංකුව සමඟ දැනට සාකච්ඡා කෙරෙමින් පවතින බව ද සඳහන්  කිරීම වැදගත් වේ.

 

Published Date: 

Monday, July 27, 2020