වෝහාරික විගණනයන්

වෝහාරික විගණනයන් පිළිබඳව මාධ්‍ය තුළ පළ වූ සමහර සාවද්‍ය තොරතුරු හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් පහත කරුණු ඉදිරිපත් කරනු ලැබේ.

අ) 2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා කාලසීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම සහ වාර්තා කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව මඟින් කරන ලද නිර්දේශයන් ද, අනෙකුත් විගණන වාර්තා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන සහ නියෝජිත කාර්යයන් සම්බන්ධයෙන් සිදු කරන ලද අභ්‍යන්තර විමර්ශන වාර්තා මඟින් පසුගිය වසර කිහිපය තුළ දී අනාවරණ වූ කරුණු ද සලකා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් විගණකාධිපතිතුමාගේ සහ නීතිපතිතුමාගේ උපදෙස් ලබා ගනිමින් වෝහාරික විගණන හයක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලදී.

ආ) වෝහාරික විගණන පහක් සඳහා වූ ප්‍රසම්පාදන කටයුතු අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදන කමිටුවක් මඟින් සිදු කරන ලද අතර, එම විගණන කටයුතු පිළිබඳ කොන්ත්‍රාත්තු වෝහාරික විගණන පිළිබඳ ගෝලීය පරිචයක් සහ ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත විගණන සමාගම් වෙත අමාත්‍ය මණ්ඩල අනුමැති ඇතිව ප්‍රදානය කෙරිණි.

ඇ) මෙලෙස ආරම්භ කරන ලද වෝහාරික විගණන හයෙන් වෝහාරික විගණන පහක් දැනට අවසන් කර ඇත. මාධ්‍ය වාර්තා වල විවිධ අගයන් සඳහන් වුවද මෙම වෝහාරික විගණන පහ සඳහා වැය වූ මුදල ආසන්න වශයෙන් රුපියල් මිලියන 275 ක් වේ.

ඈ) මේ වන විට හය වන වෝහාරික විගණනයෙහි ප්‍රසම්පාදන කටයුතු සිදු කෙරෙමින් පවතී.

Published Date: 

Tuesday, January 21, 2020