විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 අප්‍රේල්

2022 වසරේ අප්‍රේල් මාසයේ දී ආනයන වියදම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අඛණ්ඩව දෙවන මාසයටත් අඩු වීමක් වාර්තා කළ අතර, අපනයන ඉපැයීම් ඉහළ ගියේය. රේගුවෙන් ලද මූලික දත්තවලට අනුව, ආනයනවල අඩුවීම 2022 වසරේ මැයි මස තවදුරටත් ශීඝ්‍ර වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වෙළඳ හිඟය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කළේය. මේ අතර, සංචාරක පැමිණීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පෙර මාසයට සාපේක්ෂව 2022 වසරේ අප්‍රේල් මාසයේ දී මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේය. කෙසේ වෙතත්, විදේශීය ජංගම ගිණුමේ ස්ථායීතාවයට සහය දක්වමින් 2022 මැයි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ යළි ඉහළ ගියේය. 2022 වසරේ අප්‍රේල් මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීම් වාර්තා විය. දේශීය විදේශ විනිමය වෙළඳපොළේ අඛණ්ඩ පීඩනය සැලකිල්ලට ගනිමින්, අවිධිමත් වෙළඳපොළේ ක්‍රියාකාරකම් සීමා කිරීමට සහ නිල සහ අවිධිමත් වෙළඳපොළ විනිමය අනුපාතික අතර පරතරය අඩු කිරීමට උපකාරී වූ විවෘත ගිණුම් සහ භාණ්ඩ විකිණීමෙන් පසු මුදල් ගෙවීමේ පදනම මත සිදුකල ආනයනයන් සීමා කිරීම් ඇතුළු ක්‍රියාමාර්ග 2022 වසරේ මැයි මාසයේදී මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලදී. තවද, පෙර දින අන්තර් බැංකු වෙළඳපොළේ තීරණය වූ විනිමය අනුපාතිකය මත පදනම්ව, මහ බැංකුව විසින් 2022 වසරේ මැයි මස 13වැනි දින සිට සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට විචලන මට්ටම (දෙපසටම අදාළ විචලන සීමා ඉඩ හැරීම් සමඟ) පිළිබඳව දෛනික මාර්ගෝපදේශ සැපයීම ආරම්භ කරන ලදී. මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වය වර්ධනය වී ඇත.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Sunday, June 12, 2022