විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2020 මාර්තු

කොවිඩ්-19 (COVID-19) වසංගතය සහ 2020 වසරේ මාර්තු දෙවන භාගයේ සිට ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික කටයුතු අර්ධ ව‍ශයෙන් සීමා කිරීම 2020 වසරේ මාර්තු මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වයට බලපා ඇත. සැපයුම් සහ ඉල්ලුම් දාම බිඳ වැටීම හා දේශීය නිෂ්පාදන ක්‍රියාවලීන්ට බාධා ඇති වීම හේතුවෙන් වෙළඳ භාණ්ඩ අපනයන මෙන්ම වෙළඳ භාණ්ඩ ආනයන ද සැලකිය යුතු ලෙස අඩු විය. කෙසේ වෙතත්, අපනයන ඉපැයීම් අඩු වීමට සාපේක්ෂව ආනයන වියදම් විශාල ලෙස අඩු වීමත් සමඟ වෙළඳ හිඟය, 2019 වසරේ එම කාලයට සාපේක්ෂව අඩු විය. ගෝලීය වශයෙන් විදේශ ගමන් සඳහා සීමා පැනවීම සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුප‍ළ වසා දැමීම නිසා සංචාරක කර්මාන්තය දැඩි බලපෑමකට ලක් විය. වසංගතයේ බලපෑමට ලක් වූ රටවලින් සංක්‍රමණික සේවා නියුක්තිකයින් නැවත පැමිණීමත්, විදේශයන්හි සිටින සමහර සේවා නියුක්තිකයින්ගේ රැකියා අහිමි වීමත් සමඟ 2020 වසරේ මාර්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සැලකිය යුතු ලෙස අඩු විය. කෙසේ වෙතත්, 2020 මාර්තු මාසයේ දී ඒකාබද්ධ ණය පහසුකමෙහි ලැබීම් සමඟ මූල්‍ය ගිණුම ශක්තිමත් විය. 2020 වසරේ මාර්තු මස දෙවන සතිය දක්වා සාපේක්ෂ ලෙස ස්ථාවරව පැවති ශ්‍රී ලංකා රුපියල, 2020 වසරේ අප්‍රේල් මැද භාගය දක්වා සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වූ නමුත්, ඉන් පසුව 2020 වසරේ මැයි මාසය තුළ දී සැලකිය යුතු ලෙස අතිප්‍රමාණය වීමත් සමඟ ස්ථාවර විය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, June 1, 2020