විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2020 අප්‍රේල්

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ආර්ථිකයට සිදු වූ බාධාවන් හමුවේ 2020 වසරේ අප්‍රේල් මාසයේ දී  ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය දැඩි බලපෑමකට ලක් විය.  2020 වසරේ අප්‍රේල් මාසයේ දී සංචාරක පැමිණීම් නවතා දැමුණු අතර, සමාජ හා ආර්ථික කටයුතු අර්ධ වශයෙන් සීමා කිරීමෙන් ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන අංශයට සැලකිය යුතු ලෙස බලපෑමක් ඇති විය. ආනයන ආශ්‍රිත සැපයුම් දාමයන්ට බාධාවන් සිදු වීම සහ රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත්‍යවශ්‍ය නො වන ආනයන සඳහා පනවා ඇති සීමා කිරීම් සමඟ වෙළෙඳ  භාණ්ඩ ආනයන වියදම් ද අඩු විය. සමාජ හා ආර්ථික කටයුතු සීමා කිරීමට පෙර සංක්‍රමණික සේවකයින් පිරිසක් නැවත මෙරටට පැමිණීම සහ විදේශයන්හි සිටින සමහර සංක්‍රමණික සේවකයින්ට ලබා දෙන වන්දි අඩු කිරීම සහ රැකියා අහිමි කිරීම් සමඟ මාසය තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සැලකිය යුතු ලෙස පහත වැටුණි. මුල්‍ය ගිණුම තුළ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන ශුද්ධ ගෙවීමක් වාර්තා වූ අතර, කොළඹ කොටස්  වෙළෙඳපොළ 2020  වසරේ අප්‍රේල් මාසය පුරා ම වසා දමා තිබුණි. වැඩි අවිනිශ්චිතතාවන් සහ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ප්‍රමාණවත් ලැබීම් නොමැති වීම හමුවේ ශ්‍රී ලංකා රුපියල 2020 වසරේ අප්‍රේල් මාසයේ පළමු භාගයේ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව සැලකිය යුතු ලෙස අවප්‍රමාණය විය. කෙසේ වෙතත්, වෙළෙඳපොළ අපේක්ෂා වැඩිදියුණු වීමත් සමඟ මාසයේ දෙවන භාගයේ සිට රුපියල ක්‍රමයෙන් ස්ථාවර වීමට පටන් ගත්තේ ය. ඉන් පසු ව විනිමය අනුපාතිකය අතිප්‍රමාණය වීම,  වසර තුළ මේ දක්වා ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම සියයට 3කට වඩා අඩු වීමට උපකාරී විය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, June 22, 2020