'රට පුරා ම LANKAQR' මහජන දැනුම්වත් කිරීමේ වැඩසටහන මාතලේ දී දියත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව මුල්‍ය ආයතන සමඟ එක් ව LANKAQR ගෙවීම් යෙදුම භාවිතා කිරීමේ වැඩසටහන “රට පුරාම LANKAQR“ යන තේමාව යටතේ දීපව්‍යාප්ත වැඩසටහනේ පළමු අදියර ලෙස 2020 සැප්තැම්බර් මස 12 වන දින “මාතලේට LANKAQR“ තේමාව මත ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලයේ දී පැවැත්විණි. මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා සහභාගී විය. බලපත්‍රලාභී මුල්‍ය ආයතන, ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධතිවල බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවන් ලෙස ක්‍රියා කරන දුරකථන සමාගම් මෙන් ම ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම් නියෝජිතයන්, මාතලේ ප්‍රදේශයේ ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහ නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් මෙම උත්සවයට සහභාගී විය. මෙම වැඩසටහනෙහි අරමුණ වුයේ LANKAQR කේත පදනම් කර ගත් ඩිජිටල් ගෙවීම් භාවිතය දිරිමත් කිරීම සහ එමගින් පාරිභෝගිකයාට, ව්‍යාපාරිකයාට සහ ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමයි.

LANKAQR යනු ඕනෑ ම වෙළඳ ව්‍යාපාරිකයෙකුට, විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට වියදම අඩුවෙන්, වේගවත් ව සහ ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් ඩිජිටල් ගෙවීම් සඳහා පහසුකම් සපයනු ලබන ශ්‍රී ලංකාවේ මුල්‍ය ආයතන විසින් ලබා දී ඇති පොදු ක්ෂණික ප්‍රතිචාර කේත ප්‍රමිතියකි. එමගින් ගනුදෙනුකරුවෙකුට LANKAQR සහිත ජංගම ගෙවීම් යෙදුමක් තම ජංගම දුරකථනයට භාගත කිරීම ගනුදෙනුකරුගේ බැංකු ගිණුම යොදා ගෙන සෘජු ව ම ගෙවීම් සිදු කිරීමට පහසුකම් සලසා ඇත. එම ගෙවීම ව්‍යාපාරිකයන්ගේ බැංකු ගිණුමට ක්ෂණික ව බැර වේ. වෙළෙන්දන්ට සිය ව්‍යාපාරික ස්ථානයේ ප්‍රදර්ශනය කිරීමට LANKAQR මුද්‍රිත ස්ටිකරය LANKAQR හි සාමාජික ආයතන විසින් ගාස්තු අය කිරීමකින් තොර ව නොමිලේ ලබා දේ. LANKAQR භාවිත කර ගෙවීම සඳහා, ගනුදෙනුකරු මුල්‍ය ආයතන විසින් ලබා දී ඇති ජංගම ගෙවීම් යෙදුමක් භාවිත කරමින් LANKAQR කේතය ස්කෑන් කළ යුතු වන අතර වෙළෙන්දාට ඔහුගේ ගිණුමට මුදල් බැර වීම සහතික කරමින් ක්ෂණික කෙටි පණිවුඩයක් ලැබෙනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෙළෙඳ ව්‍යාපාරිකයාගෙන් අය කරනු ලබන උපරිම වෙළෙඳ වට්ටම් අනුපාතය (වෙළෙන්දා විසින් LANKAQR කේතය නිකුත් කරන බැංකුව වෙත ගෙවන ගාස්තුව) 1% ලෙස නියම කර ඇති බැවින් මෙය අඩු වියදම් ක්‍රමයක් වන අතර තවදුරටත් LANKAQR සඳහා අනුගත වීමට වෙළෙඳුන් දිරිමත් කිරීම සඳහා 2020 වසරේ දී වෙළඳ ව්‍යාපාරිකයාගෙන් අය කරනු ලබන උපරිම වෙළෙඳ වට්ටම් අනුපාතය 0.5%ක් ලෙස නියම කර ඇත. LANKAQR පදනම් කර ගත් ගෙවීම් භාවිත කිරීමේ දී පාරිභෝගිකයන්ට කිසිදු පිරිවැයක් දැරීමට සිදු නො වේ. මෙමගින් ආර්ථිකයේ ඩිජිටල් ගෙවීම් දිරිගැන්වීම සහ මුදල් කළමනාකරණ පිරිවැය අඩු කිරීම මෙන් ම අවිධිමත් මුල්‍ය අංශ විධිමත් කිරීමට ද මෙමගින් අපේක්ෂා කෙරේ.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, September 14, 2020