නව නියෝජ්‍ය අධිපතිවරයකු පත් කරයි

මුදල් මණ්ඩලය විසින් ගරු මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමාගේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන කේ . එම් . මහින්ද සිරිවර්ධන මහතා 2020 පෙබරවාරි මස 12 වැනි දින සිට නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත්කර ඇත.

සිරිවර්ධන මහතා වසර විසි අටකට අධික කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කර ඇත. නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත්වීමට පෙර සිරිවර්ධන මහතා ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව භාර සහකාර අධිපති ලෙස කටයුතු කර ඇති අතර ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර ඇත.

සිරිවර්ධන මහතා 2017 වසරේ ජූලි මාසයේ සිට 2019 වසරේ ඔක්තෝම්බර් මාසය දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකු සේවයෙන් මුදා හරින ලදී. ඒ මහතා 2010 ඔක්තෝබර් මස සිට 2015 අප්‍රේල් මාසය දක්වා මුදල් අමාත්‍යංශය වෙත මුදා හරින ලද අතර එහි රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ද ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස ද කටයුතු කර ඇත.

සිරිවර්ධන මහතා ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ඇතුළු ආයතන ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු/භාණ්ඩාගාර නියෝජිතයෙකු ලෙස සේවය කර ඇත.

සිරිවර්ධන මහතා ඇමරිකා එක්සත් ජනපදයේ වැන්ඩබිල්ට් (Vanderbilt University) විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබාගෙන ඇති අතර කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධියක් ලබා ඇත. ඒ මහතා දකුණු හා නැගෙනහිර ආසියානු රටවල මහ බැංකු පුහුණු මධ්‍යස්ථානයේ (SEACEN) පර්යේෂණාත්මක අධ්‍යයනයන්හි සහ ශ්‍රී ලංකා මහ බැංකු මාණ්ඩලික පත්‍රිකා ප්‍රකාශනයෙහි ලිපි ගණනාවක් පල කර ඇත.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, February 20, 2020