ද්විතීයික වෙළඳපොළෙහි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජනය කිරීම සඳහා දේශීය සමාගම්වලට අවසර ලබාදීම

2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකාව තුළ සංස්ථාපිත සමාගම් (2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත අනුව මුදල් ව්‍යාපාර කටයුතුවල නිරතවන සමාගම් හැර) සඳහා, ද්විතීයික වෙළඳපොළෙන්, ශ්‍රී ලංකා රජය විසින් නිකුත්කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදීගැනීමට අවසර ලබා දෙමින්, ගරු මුදල් අමාත්‍යවරයා විසින්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන ප්‍රකාර ව සහ කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිත ව, නියෝග නිකුත් කර ඇත.

ඉහත නියෝගවලට අනුව, පවතින විදේශ විනිමය නියෝග ප්‍රකාර ව ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයෙකුගෙන් ලබාගත් විදේශ ව්‍යවහාර ණය මුදලකින් සියයට පනහක් (50%) යොදාගනිමින් සහ පහත නියම සහ කොන්දේසිවලට යටත්ව, ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජනය කිරීමේ හැකියාව සමාගම්වලට ලැබේ.

  1. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අදාළ ආයෝජන සඳහා සමාගම් විසින් සිදුකරන එවැනි ඉල්ලීම් සලකා බලා, එක් එක් ඉල්ලීම මත පදනම්ව අනුමැතිය ලබාදෙනු ඇත.
  2. ඉහත සඳහන් කරන ලද ණය මුදලින් ඉතිරි සියයට පනහක (50%) මුදල ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය කළ යුතු ය.
  3. ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජන, ආමුඛ ප්‍රේෂණ ලෙස ලැබුණු විදේශ ව්‍යවහාර ණය මුදල්වලින් පමණක් ම සිදු කළ යුතු ය.
  4. පවතින විදේශ විනිමය නියෝගවලට යටත්ව, සුදුසුකම්ලත් සමාගම් (ඉහත සඳහන් කරන ලද) විසින් බලයලත් වෙළෙන්දෙකු (බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව) සමඟ විදේශීය වාණිජ ණය ගැනීමේ ගිණුමක් විවෘත කර පවත්වාගෙන යා යුතු ය. ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල කරන ලද ආයෝජන සම්බන්ධයෙන් වන සියලුම ආමුඛ ප්‍රේෂණ ලබාගැනීම සඳහා එම විදේශීය වාණිජ ණය ගැනීමේ ගිණුම භාවිතා කළ යුතු ය.
  5. ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජන මගින් කූපන් (coupons) ලෙස ලැබෙන ඕනෑම ආදායමක් සහ එම බැඳුම්කර කල්පිරීමෙන් ලැබෙන මුදල්, ආරම්භක ආයෝජනය සිදුකරනු ලැබූ විදේශීය වාණිජ ණය ගැනීමේ ගිණුමට ම බැර කළ යුතු ය.
  6. ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජන මගින් කූපන් (coupons) ලැබීම් සහ එම බැඳුම්කර කල්පිරීමෙන් ලද මුදල් ලැබීම්වලට අනුරූපව එම විදේශ ව්‍යවහාර ණය මුදල්වල ප්‍රාග්ධනය සහ පොළිය ආපසු ගෙවීම (දේශීය ණය ගැනුම්කරු සහ විදේශීය ණය ලබාදෙන්නා අතර එකඟ වූ පරිදි) සැලසුම් කළ යුතු ය.
  7. කිසිඳු අවස්ථානුගත කරුණක් යටතේ, ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජනය කිරීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයෙකුගෙන් ලබාගත් එම විදේශ ව්‍යවහාර ණය මුදල්, ශ්‍රී ලංකා රුපියල් විදේශ විනිමය බවට පරිවර්තනය කිරීම මඟින් ආපසු ගෙවීම සිදු නොකළ යුතු ය.
  8. තව ද, බලයලත් වෙළෙන්ඳා විසින් සෑමවිටම, ඉහත සඳහන් සුදුසුකම්ලත් සමාගම් විසින් යථායෝගීව කටයුතු කරන බව සහ ඉහත නියෝගවලට අනුකූලවන බව තහවුරු කළ යුතු ය.

මෙම නියෝග, 2021 ජුනි 30 දිනැති අංක 2234/20 දරන රජයේ (අතිවිශේෂ) ගැසට් නිවේදනවල පළ කර ඇති අතර වැඩිදුර තොරතුරු www.dfe.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබාගත හැකි ය.

Published Date: 

Thursday, July 8, 2021