ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි) වෙන් කිරීම් සහ බංගලාදේශ බැංකුව සමඟ ඇති කරගත් විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ වන මූලික ලැබීම් ශ්‍රී ලංකාව වෙත ලැබෙයි

2021 වසරේ අගෝස්තු මාසයේ දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෝලීය වි.ගැ.හි වෙන් කීරීම යටතේ ලැබීමට නියමිත වූ ප්‍රමාණය සහ ශ්‍රී ලංකා මහ බැංකුව හා බංගලාදේශ බැංකුව අතර ඇති කරගත් ද්විපාර්ශවික විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ වූ මූලික ලැබීම් ශ්‍රී ලංකාව වෙත ලැබුණි.

එ.ජ. ඩොලර් මිලියන 787කට සමාන වි.ගැ.හි වෙන් කිරීමක් ශ්‍රී ලංකාව වෙත ලැබුණු අතර, බංගලාදේශ බැංකුව සමඟ වන විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ එ.ජ. ඩොලර් මිලියන 150ක් ලැබුණි.

2021 අගෝස්තු 23 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එහි දැනට පවතින සාමාජිකයන්ගේ කෝටා ප්‍රමාණයෙන් සමානුපාතික වන ලෙස, එ.ජ. ඩොලර් බිලියන 650කට සමාන වි.ගැ.හි වෙන් කිරීමක් සිය සාමාජික රටවල් අතර බෙදා හරින ලදී. මෙමගින් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ පෙර නොවූ අර්බුදකාරී අවස්ථාව හමුවේ, රටවල විදේශ විනිමය සංචිතවලට අතිරේකව මුදල් සපයමින් සහ වඩා අධික පිරිවැයකින් යුතු දේශීය හා/හෝ විදේශීය ණය මත යැපීම අඩු කරමින්, ගෝලීය ආර්ථිකයට අතිරේක ද්‍රවශීලතාවයක් සැපයෙයි. වසංගතය හේතුවෙන් ඇති වන අහිතකර බලපෑම්වලට එරෙහි ක්‍රියාමාර්ග වේගවත් කරමින් සිය ආර්ථික ශක්තිමත් කිරීමට වි.ගැ.හි ප්‍රතිපාදන මගින් ලබා දී ඇති අවස්ථාව භාවිත කිරීමට රටවලට හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වි.ගැ.හි වෙන් කිරීම යනු එම අරමුදල වෙතින් ලබා දෙන ණයක් නොවන අතර, ඒ හා බැදුණු විශේෂ කොන්දේසි නොමැත. මීට පෙර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2009, 1979-81 සහ 1970-72 යන කාල වකවානුවල දී සාමාජික රටවලට වි.ගැ.හි ප්‍රතිපාදන වෙන් කර තිබුණි.

බංගලාදේශ බැංකුව සමඟ ඇතිකරගත් එ.ජ. ඩොලර් මිලියන 200ක් වන විදේශ විනිමය හුවමාරු පහසුකම දෙරට අතර ආර්ථික හා මූල්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඇති කරගත්තකි. මාස 3ක කාලයක් සඳහා ලබා දී ඇති මෙම මුදල් හුවමාරු පහසුකම, අනතුරුව සමාන අනුරූප කාලපරිච්ඡේද දෙකක් යටතේ යාවත්කාලීන කිරීමට හැකියාවක් පවතින අතර එය එ.ජ. ඩොලර් මිලියන 50, එ.ජ. ඩොලර් මිලියන 100 සහ එ.ජ. ඩොලර් මිලියන 50ක් වශයෙන් කොටස් තුනකින් ලබා දෙනු ඇත. මින් පළමු කොටස් දෙක දැනටමත් ලැබී ඇත.

චීන සංවර්ධන බැංකුවෙන් ලබා ගත් ඒකාබද්ධ ණය පහසුකමේ ඉතිරි ප්‍රමාණය වන එ.ජ. ඩොලර් මිලියන 300 කට ආසන්න මුදලක් නුදුරේදීම ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. මෙම ලැබීමත් සමඟ චීන සංවර්ධන බැංකුවේ එ.ජ. ඩොලර් බිලියන 1.3ක ඒකාබද්ධ ණය පහසුකම යටතේ වන ලැබීම සම්පුර්ණ වේ.

මෙම විදේශ විනිමය ලැබීම් රටේ දළ නිල සංචිත වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර, මෙමගින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ද්‍රවශීලතා තත්ත්වයන් තවදුරටත් පහසු කිරීමට මහ බැංකුවට ඉඩ සලසයි. රජය වෙත ලැබෙන ණය නොවන විදේශ විනිමය ලැබීම් ඇතුළු අපේක්ෂිත ලැබීම් හේතුවෙන් ඉදිරි කාලය තුළ දී ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Published Date: 

Tuesday, August 31, 2021