කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 පෙබරවාරි මාසයේ දී ඉහළ යයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100)  ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජනවාරි මාසයේ පැවති සියයට 5.7හි සිට 2020 පෙබරවාරි මාසයේ දී සියයට 6.2 දක්වා ඉහළ ගියේ ය. 2019 පෙබරවාරි මාසයේ පැවති පහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පුර්ණ වශයෙන් දායක විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2020 පෙබරවාරි මාසයේ දී සියයට 14.7හි පැවති අතර, ආහාර නො වන කාණ්ඩායේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 2.8හි පැවතුණි. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස, 2020 ජනවාරි මාසයේ පැවති සියයට 4.5හි සිට 2020 පෙබරවාරි මාසයේ දී සියයට 4.6 දක්වා ඉහළ ගියේ ය. 

ආහාර කාණ්ඩයේ අයිතමවල මිලෙහි දක්නට ලැබුණු සියයට 0.2ක මාසික පහළ යෑම, ආහාර නො වන කාණ්ඩයේ ඒ හා සමාන ප්‍රමාණයකින් සිදු වූ මිල ඉහළ යෑම මගින් තුලනය වීම හේතුවෙන් 2020 පෙබරවාරි මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස සියයට 0.0ක් ලෙස වාර්තා විය. 2020 පෙබරවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ එළවළු, හාල්, ලොකු ළූණු, අර්තාපල්, නැවුම් මත්ස්‍ය සහ රතු ළූණු මිල ගණන්වල පහළ යෑම් වාර්තා විය. එසේ වුව ද, ප්‍රවාහන (ගුවන් ගමන් ගාස්තු); රෙදිපිළි සහ පාවහන්; සහ විනෝදාත්මක සහ සංස්කෘතික උප කාණ්ඩයන්හි අයිතමවල සිදු වූ මිල ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නො වන කාණ්ඩයේ අයිතමවල මිල ගණන් මෙම මාසය තුළ දී ඉහළ යෑම් වාර්තා කළේ ය.

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2020 ජනවාරි මාසයේ දී පැවති සියයට 3.0හි සිට 2020 පෙබරවාරි මාසයේ දී සියයට 3.2 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය ද 2020 ජනවාරි මාසයේ දී පැවති සියයට 5.3හි සිට 2020 පෙබරවාරි මාසයේ දී සියයට 5.1 දක්වා පහළ ගියේ ය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, February 28, 2020