අධ්‍යාපන කටයුතු සහ කෙටිකාලීන සංචාර සඳහා විදේශගත ව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වියදම් සඳහා මුදල් යැවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්

දැනට පවත්නා ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් විවේක හා නිවාඩු, ඥාතීන් හා මිතුරන් හමුවීමට, වන්දනා ගමන්, ව්‍යාපාරික අරමුණු, පුහුණුවීම්, සම්මන්ත්‍රණ හා සමුළු, වෛද්‍ය ප්‍රතිකාර, ක්‍රීඩා, විනෝදාත්මක හා සංස්කෘතික කටයුතු හෝ වෙනත් ඕනෑ ම කටයුත්තක් වෙනුවෙන් සහ ශිෂ්‍ය හෝ ඊට සමාන වීසා බලපත්‍ර මත විදේශගත වී සිටින තම පවුලේ සාමාජිකයන් වෙත එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මුදල් යැවීමට  ශ්‍රී ලංකාවේ ජීවත් වන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයිත්  උනන්දු වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට ලක් වී ඇත.  මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් පැහැදිලි කිරීම් සිදු කිරීමට බලාපොරොත්තු වේ. 

  1. අධ්‍යයන හෝ වෛද්‍ය අරමුණු සඳහා පිටත් ව ගොස් ඇති පුද්ගලයන් වෙනුවෙන් විශ්ව විද්‍යාල/උපකාරක පන්ති/පුහුණු/පාඨමාලා ගාස්තු, ජීවන වියදම්, වෛද්‍ය ගාස්තු හෝ වෙනත් ඕනෑ ම අදාළ ගාස්තු ලෙස ශ්‍රී ලංකාවේ බලයලත් වෙළෙඳුන් (ඕනෑ ම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ අවසරලත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්) හරහා ඔවුන්ට සාමාන්‍යයෙන් අවශ්‍ය වන අදාළ ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව මුදල් යැවීමට එම පුද්ගලයන්ගේ ශ්‍රී ලංකාවේ සිටින පවුලේ සාමාජිකයන්ට අවසර ලබා දී ඇත.
  2. එවැනි පුද්ගලයන්ට විදේශයන්හි රැඳී සිටින කාලය තුළ ස්වකීය පෞද්ගලික ස්වභාවයේ වන ගනුදෙනු සඳහා විදේශ මුදල්වලින් ගෙවීම් කිරීම හෝ මුදල් ආපසු ගැනීම/මුදල් අත්තිකාරම් ලබා ගැනීම පිණිස බලයලත් වෙළෙඳුන් විසින් නිකුත් කරන ලද ඔවුන්ගේ ණය, හර (ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර) සහ විදේශ සංචාරක කාඩ්පත් භාවිත කළහැක.
  3. දැනටමත් දැනුම් දී ඇති පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංචරණ අරමුණු සඳහා නිකුත් කළ හැකි විදේශ මුදල් නෝට්ටුවල උපරිම සීමාව අඩු කිරීම, ප්‍රාග්ධන ගනුදෙනු සඳහා වන ප්‍රතිමුඛ ප්‍රේෂණයන්හි සීමාකිරීම් වැනි විනිමය අනුපාතය මත වන පීඩනය ලිහිල් කිරීම සඳහා හඳුන්වා දෙන ලද මෑතකාලීන ක්‍රියාමාර්ග හේතුවෙන්, ඉහත දක්වා ඇති විදේශීය අධ්‍යාපන, වෛද්‍ය සහ පවුල් ජීවන වියදම් ඇතුළු ව ජංගම ගනුදෙනු සඳහා වන ප්‍රේෂණ/ගෙවීම් සීමා කිරීමක් සිදු නො වේ. 

ඒ අනුව, මෙම අසීරු අවස්ථාවේ දී ඉහත සඳහන් කළ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් අවශ්‍ය අමතර මූල්‍ය උපකාර සැපයීම සඳහා බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කරනු ලැබේ.  නමුත් මෙම අවස්ථාවන් වගකීමෙන් යුතු ව ප්‍රයෝජනයට ගන්නා ලෙස අදාළ සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිමු.

Published Date: 

Monday, April 20, 2020