'2020 - ඩිජිටල් ගනුදෙනු වර්ෂය' දියත් කිරීම ප්‍රවර්ධන වැඩසටහන

'2020 - ඩිජිටල් ගනුදෙනු වර්ෂය' ප්‍රවර්ධන වැඩසටහන 2020.03.11 වන දින ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් ජ්‍යෙෂ්ඨ බැංකුකරුවන්, බැංකු නොවන මූල්‍ය ආයතන නිලධාරින්, ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් දියත් කරන ලදී. මෙම ප්‍රවර්ධන වැඩසටහනට සමගාමී ව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂක ඩී. කුමාරතුංග මහතා විසින් “Cash වදේ“ ප්‍රචාරන වැඩසටහන හඳුන්වාදෙන ලදී. මෙමගින් මුදල් පරිහරණයේ දී පාරිභෝගිකයින් හා ව්‍යාපාරිකයින් යන දෙපාර්ශ්වය ම මුහුණ පාන ගැටළු එනම්, සොරකම් කිරීමේ අවදානම, පෝලිම්වල සිටීමෙන් තමන්ගේ කාලය අපතේ යෑම වැනි දේ පෙන්නුම් කරයි. මෙම දියත් කිරීම මගින් සුළු පරිමාණ ගනුදෙනු ප්‍රචලිත කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනේ නිල ආරම්භය සනිටුහන් කරන ලද අතර, ජංගම යෙදුම්, ලංකා QR  කේතය සහ ණය සහ හර කාඩ්පත් වැනි ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිත කිරීමට පාරිභෝගිකයන් ආකර්ශණය කර ගැනීම අරමුණ වේ. 

ශ්‍රී ලංකාවේ ගෙවීම් යටිතල පහසුකම් ගෝලීය වශයෙන් තරඟකාරී මට්ටමක තබා ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකාක්ලියර් පුද්ගලික සමාගම සහ අනෙකුත් වාණිජ බැංකු විසින් දශක දෙකක් පුරා ක්‍රියාත්මක කර ඇති ඩිජිටල් වැඩසටහන් ගණනාවක් පිළිබඳ මහ බැංකු නියෝජ්‍ය අධිපති එච්. ඒ. කරුණාරත්න මහතා පැමිණ සිිටි පිරිස පිළිගනිමින් පවසන ලදී. මෙම අවස්ථාවට සුළු පරිමාණ ගනුදෙනු කරන පාර්ශ්වකරුවන් නියෝජනය කරමින් කීර්තිමත් දේශකයන් කිහිප දෙනෙකු සහභාගී විය. කාගිල්ස් බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආර්. ත්‍යාගරාජා මහතා විසින් ශ්‍රී ලංකා බැංකු කර්මාන්තය නව ඩිජිටල් පර්වර්තනයට සූදානම් ද? යන මාතෘකාව යටතේ ඩිජිටල් යුගයේ බැංකු කර්මාන්තයේ කාර්ය භාරය ඉස්මතු කළේ ය. ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ ආසියානු පැසිෆික් කලාප අධ්‍යක්ෂිකා රෝසි කන්නා මහත්මිය විසින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය අන්තර්ගතභාවය වැඩිදියුණු කිරීම සඳහා සියළු පාර්ශ්වයන් එක් ව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආර්. ඒ. ඒ. ජයලත් මහතා ශ්‍රී ලංකාවේ ඊළඟ වසර තුනක කාලය තුළ සැලසුම් කර ඇති ඩිජිටල් වපසරිය පැහැදිලි කළේ ය. තව ද, පාරිභෝගිකයන්ගේ විශ්වාසය තහවුරු කිරීම සඳහා ඩිජිටල් ගෙවීම්වල ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ ව හඳුන්වා දෙන ලදී. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවිම් හා පියවීම් අධ්‍යක්ෂ ඩී. කුමාරතුංග මහතා ශ්‍රී ලංකාවේ මුදල් භාවිතය අවම සමාජයක් ප්‍රවර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පැහැදිලි කරන ලදී. මෑතක දී දියත් කරන ලද ලංකා QR කේතය, මූල්‍ය තාක්ෂණ නියාමන පරීක්ෂණ අවකාශය (Fintech Regulatory Sandbox), බ්ලොක්චේන්  තාක්ෂණය පදනම් කර ගත් ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ හවුල් යාන්ත්‍රණය, විවෘත බැංකුකරණය (Open Banking) වැනි නව ව්‍යාපෘති පිළිබඳ හැඳින්වීමක් සිදු කරන ලදී.  ඔහු විසින් ශ්‍රී ලංකා මහ බැංකුව සහ ලංකාක්ලියර් සමාගම විසින් ඩිජිටල් ගෙවීම් සම්බන්ධ ව හඳුන්වා දී ඇති නව ක්‍රමවේදයන් සමග සම්බන්ධ වීමෙන් මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ, විශේෂයෙන් බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතනවල වගකීම පෙන්වා දෙන ලදී. 

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් ඩිජිටල් ගෙවීම් මගින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ ඉස්මතු කරමින් උත්සවය අවසන් කරන ලදී. තව ද, බැංකු නෝට්ටු මගින් මිනිසාට අහිතකර වෛරස පැතිරී යෑම අවදානමක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් හඳුන්වා දී ඇති අතර ඩිජිටල් ගෙවීම් විශේෂයෙන් සමීපස්ත සන්නිවේදනය (NFC) භාවිත කිරීමට නිර්දේශ කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය. ආර්ථිකයේ සෑම තරාතිරමක ම ඩිජිටල් ගෙවීම්වල පූර්ණ හැකියාවන් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන ලෙස ඔහු සියලු පාර්ශ්වකරුවන්ට ආරාධනා කළේ ය.

මෙවැනි ප්‍රවර්ධන වැඩසටහනක අවශ්‍යතාව පැන නැගී ඇත්තේ මෙම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකා ක්ලියර් පුද්ගලික සමාගම, වාණිජ බැංකු සහ ශ්‍රී ලංකාවේ වෙනත් ගෙවීම් සේවා සපයන්නන් විසින් දැනටමත් භාවිත කිරීමට හැකි විවිධ ආකාරයේ ඩිජිටල් ගෙවීම් ක්‍රම පිළිබඳ ව මහජනතාවගේ භාවිතය සහ දැනුවත් භාවය අඩුවීමත් ය. ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකු සහ අනෙකුත් ගෙවීම් සේවා සපයන්නන් සමග ඩිජිටල් 2020 ප්‍රවර්ධන වැඩසටහන අදියර කිහිපයකින් රට පුරා දියත් කිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරනුයේ සමාජයේ සෑම ජන කොටසක ම ඩිජිටල් ගෙවීම් පිළිබඳ ව දැනුවත් කිරීමයි. 

ඩිජිටල් 2020 ප්‍රවර්ධන වැඩසටහනේ පළමු අදියර ලෙස පාරිභෝගිකයන් අතර ඩිජිටල් ගෙවීම් පිළිබඳ දැනුම්වත්භාවය ඇති කිරීම සඳහා බැංකු සහ මූල්‍ය ආයතනවල කාර්ය මණ්ඩලය සූදානම් කිරීම මෙම වසරේ මුල් මාස දෙක තුළ සිදු කරනු ලැබී ය. මෙහි ඊළඟ අදියර වන්නේ සුළු පරිමාණ ව්‍යාපාරිකයින් ප්‍රවර්ධනය කිරීම සහ සාමාන්‍ය ජනතාව දැනුම්වත් කර, පාරිභෝගිකයින් සහ සුළු පරිමාණ ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය අන්තර්ගතභාවය වැඩි කිරීම සඳහා දායක කර ගැනීමයි.  වෙළෙඳ ප්‍රචාරණ වැඩසටහනට අමතර ව ඩිජිටල් ගෙවීම්  පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා සිසුන්, ගුරුවරුන්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්, මාධ්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශ්වයන් සඳහා විවිධ ප්‍රකාශන හා දේශන ඇතුළත් දැනුවත් කිරීමේ වැඩසටහන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කර ඇත.

Published Date: 

Thursday, March 12, 2020