මනිල් ජයසිංහ

මනිල් ජයසිංහ මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකයෙකු, එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකයෙකු, ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ අධි සාමාජිකයෙකු මෙන් ම වරලත් රාජ්‍ය මූල්‍යය සහ ගණකාධිකරණ ආයතනයේ සාමාජිකයෙකු ද වේ.

අර්නස්ට් ඇන්ඩ් යන්ග් ආයතනයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ජයසිංහ මහතා එහි හවුල්කරුවෙකු ලෙස පත්වීමෙන් පසු ව නිෂ්පාදනය, සිල්ලර වෙළෙඳ කටයුතු, ආගන්තුක සත්කාරය, තොග ව්‍යාපාර සහ විදුලි සංදේශ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වසර 30ක් පුරා පුළුල් අත්දැකීම් ලබා ඇත. 2021-2023 දක්වා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ අර්නස්ට් ඇන්ඩ් යන්ග් දේශ කළමනාකාර හවුල්කරු ලෙස ද 2003-2023 දක්වා ශ්‍රී ලංකාවේ සහතිකකරණ පරිචයෙහි ප්‍රධානියා සහ වෘත්තීය පුහුණු අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළේ ය. ව්‍යාපාර තක්සේරුකරණය සහ මූල්‍ය ආයතන සඳහා උපායමාර්ගික සැලසුම් ඉදිරිපත් කිරීම විෂයයෙහි දැක්වූ දක්ෂතා ජයසිංහ මහතා මූල්‍ය සේවාවල ප්‍රධාන සම්පතක් බවට පත් කළේ ය. ඔහු ශ්‍රී ලංකාවේ IFRS/SLAS Desk හි ප්‍රධානියා ලෙස ද සේවය කළේ ය.

වසර 41 කට අධික උපදේශන සහ අනෙකුත් අදාළ ක්ෂේත්‍රවල අත්දැකීම් සහිත ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඒ මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති, ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතන මණ්ඩලයේ සාමාජික, මොරටුව විශ්වවිද්‍යාලයේ පාලක සභා සාමාජික, ගණකාධිකාරීවරුන්ගේ ජාත්‍යන්තර සම්මේලනයෙහි (IFAC) ජාත්‍යන්තර ගිණුම්කරණ අධ්‍යාපන මණ්ඩල සාමාජික, මහ බැංකුවේ විගණන උපදේශක කමිටුවේ සාමාජික මෙන් ම, පොදු ලැයිස්තුගත සමාගම් සහ බැංකු ආයතනවල විගණන කමිටු උපදේශක සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සාමාජික වශයෙන් ද කටයුතු කළේ ය.

මේ වන විට ඔහු ව්‍යවස්ථාපිත ගිණුම්කරණ ප්‍රමිති කමිටුවේ සභාපති සහ ව්‍යවස්ථාපිත විගණන ප්‍රමිති කමිටුවේ සාමාජිකයෙකු වන අතර, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ තවත් බොහෝ කමිටුවල සේවය කරයි. ඔහු මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති ක්‍රියාත්මක කිරීමේ සහ අර්ථකථන කමිටුවේ (FRSIICS) සාමාජික, දකුණු ආසියානු ගණකාධිකාරීවරුන්ගේ සම්මේලනයේ (SAFA) ගිණුම්කරණ ප්‍රමිති කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලයේ සාමාජික, ශ්‍රී ලංකා සහතිකලත් කළමණාකරණ ගණකාධිකාරී ආයතනයේ (CMA Sri Lanka) සභා සාමාජික ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) විගණන කමිටු සාමාජික, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සාමාජික, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සාමාජික, සහ DIMO, සිලෝන් හොස්පිටල්ස් සහ සීමාසහිත සහස්යා ආයෝජන යන ආයතනවල ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කරයි.