ඩී. ඩබ්ලිව්. රාජපතිරණ (1959 – 1967)

D W Rajapathirana

ඩී.ඩබ්ලිව්. රාජපතිරණ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ හතරවන අධිපතිවරයා වූ අතර ඔහු 1959 ජූලි මස සිට 1967 අගෝස්තු මස දක්වා එම තනතුර හොබවනු ලැබී ය.

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ ඒ මහතා ශිෂ්‍යත්වයක් ලබා 1923 දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වී සිය උපාධිය හිමිකර ගත්තේ ය. ඊ ළඟ වර්ෂයේ ලන්ඩන් ආර්ථික විද්‍යා විද්‍යාලයට ඇතුළත් වූ ඔහුට එහි දී කැසල් ශිෂ්‍යත්වයක් ප්‍රදානය කෙරිණි.  ලන්ඩන් විශ්වවිද්‍යාලය මගින් ප්‍රදානය කෙරුණු මෙම ශිෂ්‍යත්වයත් සමඟ ඔහුට වසරක අධ්‍යයන කාලයක් සඳහා ඇමරිකාවේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික අධ්‍යයන විද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාව හිමි විය.

නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔහු සිය ප්‍රථම රැකියාව ලෙස 1927 දී රජයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සහකාර ගණකාධිකාරිවරයෙකු ලෙස සේවයට එක් විය.  1932 වර්ෂයේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සේවයට එක් වූ ඔහු පසුකාලීන ව අතිරේක විනිමය පාලක වශයෙන් සේවය කර, 1947 වර්ෂයේ දී ආදයම් බදු කොමසාරිස්වරයා ලෙස පත් විය.  ලංකා ගණකාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු වූ රාජපතිරණ මහතා 1951 වර්ෂයේ දී මහ බැංකු මුදල් මණ්ඩලය විසින් මහ බැංකුවේ උපදේශකවරයකු ලෙස පත් කරන ලදී.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් නියෝජනය කිරීමේ අවස්ථාව ද ඔහුට හිමි විය.

1953 වර්ෂයේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරයට පත් වූ ඒ මහතා, 1959 වර්ෂයේ අධිපති ධුරයට පත් වී වසර අටක කාලයක් එම තනතුර දැරී ය.