ඩබ්ලිව්. තෙන්නකෝන් (1967 – 1971)

W Tennekoon

විලියම් තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ පස්වන අධිපතිවරයා වූ අතර ඔහු 1967 අගෝස්තු මස සිට 1971 මැයි මස දක්වා එම තනතුර හෙබවී ය.

මහනුවර ශාන්ත අන්තෝනි සහ ත්‍රිත්ව විදුහල්වලින් පාසල් අධ්‍යාපනය ලැබු ඒ මහතා ලංකා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා උපාධිධාරියෙකි. ඉන්පසු 1938 දී එම විශ්වවිද්‍යාලයේ ම ආර්ථික විද්‍යා බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සිය වෘත්තීය දිවිය ඇරඹී ය.

1939 දී බැංකු ක්ෂේත්‍රයට පිවිසි තෙන්නකෝන් මහතා ලංකා බැංකුවේ ගණකාධිකාරීවරයකු ලෙස සේවය කර පසු ව එහි ප්‍රධාන ශාඛාවේ කළමනාකාරවරයා ලෙස පත් විය.  1950 වර්ෂයේ දී මහ බැංකුවේ ප්‍රධාන ගණකාධිකාරීවරයා ලෙස පත්වීමෙන් මහ බැංකු වෘත්තිකයෙකු බවට පත් වූ ඔහු ඉන්පසු ව බැංකු හා ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත් විය.  ඉන් අනතුරු ව ඔහු බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් විය.  මහ බැංකු සේවයේ යෙදී සිටි කාලයේ (1953 – 1962) ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට ද්විතීයනය කළේ ය.  මහ බැංකුකරුවකු ලෙස සාර්ථක ගමනක් පැමිණි ඔහු 1957 නියෝජ්‍ය අධිපති  ධුරය ද, 1964 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ධුරය ද දරමින් 1967 වර්ෂයේ දී මහ බැංකු අධිපති ධුරයට පත් විය.

මහ බැංකු සේවය නිම කිරීමෙන් පසු තෙන්නකෝන් මහතා ආසියානු සංවර්ධන බැංකුවේ විධායක අධ්‍යක්ෂ තනතුර හෙබ වූ අතර ඉන් පසු  හැටන් නැෂනල් බැංකුව ඇතුළු පෞද්ගලික ආයතන කිහිපයක ම අධ්‍යක්ෂ ධුර හෙබවී ය. 1973 වර්ෂයේ හැටන් නැෂනල් බැංකුවේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදේශක ලෙස පත් වී 1974 වර්ෂයේ ඩී.එෆ්.සී.සී. බැංකුවේ සභාපතිත්වයට පත් විය.