ආචාර්ය ඩබ්ලිව්. රාසපුත්‍රම් (1979 – 1988)

ආචාර්ය වර්ණසේන රාසපුත්‍රම් ශ්‍රී ලංකා මහ බැංකුවේ සත්වන අධිපතිවරයා වූ අතර ඔහු 1979 පෙබරවාරි මස සිට 1988 නොවැම්බර් මස දක්වා එම තනතුර හෙබවී ය.

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ ආචාර්ය රාසපුත්‍රම් ලංකා විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරියෙකි.  සංඛ්‍යානය විශේෂ කොටගත් ආර්ථික විද්‍යා උපාධියක් හිමි ඔහු මහ බැංකු සෘජු බඳවා ගැනීමේ වැඩසටහන යටතේ 1951 දී මහ බැංකුවට එක් වූ ප්‍රථම උපාධිධාරීන්ගෙන් එක් අයෙකි. ඉන් වසර කිහිපයකට පසු සිය පශ්චාද් උපාධි අධ්‍යයන කටයුතු සඳහා ස්මිත් - මන්ඩිටි ශිෂ්‍යත්වයක් හා පසුකාලීන ව ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ලැබුණු අතර ඔහු විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යානය පිළිබඳ දර්ශනපති උපාධියක් ද, ආර්ථික විද්‍යා ආචාර්ය උපාධියක් ද හිමිකර ගත්තේ ය.

1968 වර්ෂයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් වූ ඔහු 1971 වර්ෂයේ සිට වසර කිහිපයක් ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන කිහිපයක සේවය කිරීම ස‍ඳහා මහ බංකු සේවයෙන් මුදා හැර ඇත. 1974 වර්ෂයේ අධිපති සහකාරවරයෙකු ලෙස පත් වූ ආචාර්ය රාසපුත්‍රම් 1975 වර්ෂයේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත් විය.

1976 සිට 1979 දක්වා කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය රාසපුත්‍රම් ඉන්පසු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත් විය.  එම කාලසීමාව ශ්‍රී ලංකා ආර්ථිකය සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක සිට විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් දක්වා ගමන් කෙරුණු අතිශය වැදගත් කාලසීමාවක් වූ බැවින් ඔහුගේ නායකත්වය හා මඟ පෙන්වීම ශ්‍රී ලංකා මහ බැංකුවට මෙන් ම රටෙේ ආර්ථිකයට ද විශාල බලපෑමක් ඇති කළේ ය.  තව ද, ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වී ප්‍රාදේශීය කාර්යාල ආරම්භ කෙරිණි.

1988 මහ බැංකු අධිපති ලෙස සිය සේවය නිම කිරීමෙන් අනතුරු ව විදේශ සේවයේ ඉහළ තනතුරු කිහිපයක් ම හෙබ වූ ඔහු ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ද මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස ද කටයුතු කළේ ය. එක්සත් ජාතීන්ගේ ජිනීවා හා වියෙනා කාර්යාලයන්හි නිත්‍ය නියෝජිතවරයෙකු ලෙස කටයුතු කළ ඔහු තවත් ජාත්‍යන්තර සංවිධාන කිහිපයක ම ඉහළ තනතුරු හෙබවී ය.