ආචාර්ය එච්. එන්. එස් කරුණාතිලක (1988 – 1992)

ආචාර්ය එච්. එන්. එස් කරුණාතිලක ශ්‍රී ලංකා මහ බැංකුවේ අටවන අධිපතිවරයා වූ අතර ඔහු විසින් 1988 නොවැම්බර් මස සිට 1992 ජූනි මස දක්වා එම තනතුර හොබවන ලදී.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා ගත් ආචාර්ය කරුණාතිලක ලංකා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් සහිත ව සිය ආර්ථික විද්‍යා ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගත්තේ ය. ඉන් පසු කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර (එකල විද්‍යෝදය) විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සිය වෘත්තීය දිවිය ඇරඹූ ඔහු 1953 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවයට එක් වී ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත ව සේවය කර ඇත. සිය පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා කොළඔ ක්‍රමය හා ෆුල්බ්‍රයිට් මගින් ලැබුණු ශිෂ්‍යත්ව ඔස්සේ ලන්ඩන් ආර්ථික විද්‍යා විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා විද්‍යාපති උපාධියත් (1957), හාවඩ් විශ්විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියත්, ආර්ථික විද්‍යා ශාස්ත්‍රවේදී උපාධියත් හිමි කර ගත්තේ ය. ඔහු හාවඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ අවධියේ එහි පර්යේෂකයෙකු ලෙස ද කටයුතු කර ඇත. ආචාර්ය කරුණාතිලක සිය ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිය 1972 වර්ෂයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් හිමි කර ගනු ලැබී ය. 

1975 වර්ෂයේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් වූ ආචාර්ය කරුණාතිලක 1978 නියෝජ්‍ය අධිපති ධූරයට පත් වුණි. මහ බැංකු සේවා කාලය තුළ ආචාර්ය කරුණාතිලක මූල්‍යායතන, විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලය, බැංකුකරුවන් පුහුණු කිරීමේ ආයතනය (වර්තමානයේ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය), කැබිනට් අනුකමිටු හා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක් වෙත සිය සේවය හා විශේෂඥ දැනුම ලබා දුන්නේ ය. 

ඔහු ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ සංගමයේ ශ්‍රී ලංකා පර්ශ්වයේ සභාපති, ශ්‍රී ලංකා ආර්ථික සංගමයේ සභාපති සහ ශ්‍රී ලංකා ආර්ථික සඟරාවේ පළමුවන සංස්කාරකවරයා විය. ආචාර්ය කරුණාතිලක ආර්ථිකය හා බැංකුකරණයට අදාළ ව විශාල කෘති ප්‍රමණයක් සම්පාදනය කර ඇති අතර, ඔහු විසින් රචිත ලිපි 150කට අධික ප්‍රමාණයක් දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ සඟරාවන්හී පල වී ඇත.