1.      පසුබිම

1.1.   1940 වර්ෂයේ දී ආරම්භ කරන ලද ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය අද වන විට වසර 80 ක ඉතිහාසයක් සහිතව තවමත් ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය රැඳී පවතින ආයතනයකි. ආයතනය සතුව ශාඛා 46 ක් සහ සේවා ස්ථාන 12 ක් පවතින අතර 600 කට ආසන්න පිරිසක් සේවය කරයි.

1.2.   2008 වර්ෂයේ සෙලින්කෝ සමූහයේ ආයතන කිහිපයක ඇති වූ මූල්‍ය අර්බුදය හේතුවෙන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය දරුණු බලපෑමකට ලක්විය.

1.3.   එතැන් සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ක්‍රියා මාර්ග ගණනාවක් ක්‍රියාත්මක කර ඇත. එයින් කිහිපයක් නම්,

අ.      අධ්‍යක්ෂ මණ්ඩලයේ දීමනා සහ වරප්‍රසාද මෙන්ම ව්‍යාපාර කටයුතු සඳහා ඔවුන් සතුව පැවති අධිකාරිය සීමා කිරීම.

ආ.     රුපියල් බිලියන 2 ක් තැන්පතු ඡන්ද අහිමි කොටස් බවට පරිවර්තනය කිරීම.

ඇ.      රුපියල් බිලියන 1.6 ක නව කොටස් නිකුත් කිරීම.

ඈ.      අධ්‍යක්ෂ මණ්ඩලය සිව් වතාවක් නැවත ස්ථාපිත කිරීම.

ඉ.       වෝහාරික විගණනයක් සිදු කිරීම සඳහා KPMG විගණන ආයතනය වෙත යොමු කිරීම.

ඊ.       ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය මගින් රුපියල් බිලියන 6 ක ණය මුදලක් ප්‍රදානය කිරීම.

උ.      ආයතනය නැවත නඟා සිටුවීම සඳහා ආයෝජකයන් සමග සාකච්ඡා සඳහා පහසුකම් සැපයීම.

ඌ.     ද්‍රවශීලතා අවශ්‍යතා සැපිරීමට අවශ්‍ය කටයුතු කිරීම.

 

2.         ආයතනය තුලට නිරන්තරයෙන් ස්ථාවර සහ ඉතිරිකිරීමේ තැන්පතු ගලා ඒමක් සිදු වුවද, ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගුනේ ඇයි?

2.1.   ආයතනය සම්බන්ධව ගනුදෙනුකරුවන් තුල පැවති විශ්වාසයේ ප්‍රතිඵලයක් ලෙස නව තැන්පතු දිගින් දිගටම ආයතනයට ගලා ඒම සිදු වේ. මෙම අරමුදල් ආයතනයේ තැන්පතු ආපසු ගෙවීමට මෙන්ම අනෙකුත් මෙහෙයුම් වියදම් වෙනුවෙන් යොදා ගන්නා ලදී.

2.2.  කෙසේ වුවද මෙම මුදල් ප්‍රවාහයන් ආයතනය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් නොවන හෙයින් ආයතනයේ ද්‍රවශීල අවශ්‍යතාවන් සඳහා සහය වීමට අවශ්‍ය නියාමන ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට මැදිහත් වීමට සිදු වීය.

 

3.     ආයතනයේ උග්‍ර මුදල් පිටතට ගලා යාමක් සිදු වේ නම් මේ දක්වා සාර්ථකව ආයතනය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

ආයතනයේ සෘණ ප්‍රාග්ධනයක් පැවතියද, නව තැන්පතු භාර ගැනීම හරහා ආයතනය මුදල් ප්‍රවාහ අවශ්‍යතාවන් සපුරා ගන්නා ලදී. කෙසේ වුවද, ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය ප්‍රමාණවත් ආදායමක් ඉපයීම සඳහා සුදුසු මුදල් ව්‍යාපාර සැලසුමක් අනුගමනය නොකරන බව පැහැදිලි වේ. එය ආයතනයේ දිගුකාලීන පැවැත්ම සඳහා සුදුසු තත්ත්වයක් නොවේ.

 

4.     2019.02.15 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගත් ප්‍රධාන ප්‍රතිව්‍යුහගත කිරීමේ පියවර මොනවාද?

4.1.   නව තැන්පතු බාර ගැනීම සීමා කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර ඇති පොලී අනුපාතයන් යටතේ තැන්පතු සඳහා ගෙවිය යුතු පොළිය මාසික පදනම යටතේ නොකඩවා ගෙවීම.

4.2.   සියළුම තැන්පතු ආපසු ගෙවීම සීමා කර එම තැන්පතු මාස 03 ක කාලයක් සඳහා නැවත අළුත් කිරීම.

4.3.   සියළුම ආකාරයේ ණය පහසුකම් ප්‍රදානය කිරීම සීමා කිරීම

4.4.   ආයතනයේ කටයුතු කළමනාකරණය කිරීම සඳහා කළමනාකරන මණ්ඩලයක් පත් කිරීම.

 

5.         ඉහතින් සඳහන් කරන ලද ප්‍රතිව්‍යුහගත පියවරයන්ගේ වාසි කවරේද?

5.1.   මුදල් ආයතනයෙන් පිටතට ගලා යාම සීමා කර ඇති බැවින්, එමගින් ධන මුදල් ප්‍රවාහයක් ජනනය කිරීම අපේක්ෂා කරන අතර එය ආයතනයේ තැන්පතු සඳහා අඩු පොලී වියදමක් යටතේ තවදුරටත් පොලී ගෙවීමත් මෙහෙයුම් වියදම් පියවීම සඳහාත් භාවිතා කල හැකි වේ. මෙය කෙටිකාලයක් තුල ආයතනයේ ද්‍රවශීලතාව පවත්වාගැනීමට දායක වන අතර නව ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා ද පහසුකම් සලසයි.

5.2.  කළමණාකරන මණ්ඩලය මගින් මුදල් ව්‍යාපාර කළමණාකරනය පිළිබඳ විශේෂිත දැනුමක් ලබා ගත හැකි අතර ඔවුන් ආයතනයේ දැනට සිටින අධ්‍යක්ෂ මණ්ඩලය සහ සේවක පිරිස සමග සමීපව කටයුතු කරනු ඇත. තවද, ඔවුන් විසින් ආයතනයේ වත්කම් සහ විවිධ පාර්ෂවයන් වෙත ලබා දුන් ණය පහසුකම් අය කර ගැනීමට කටයුතු කරනු ඇත.

 

6.    ඉහතින් සඳහන් කරන ලද ප්‍රතිව්‍යුහගත පියවරයන්ගේ වාසි කවරේද?

ආයතනයේ තම තැන්පතු මුදල රඳවා තැබීම සඳහා තැන්පතුකරුවන් එකඟ වීම තුලින් ලබා දෙන සහයෝගය සමග උපායමාර්ගික ආයෝජකයකු හඳුනා ගෙන ප්‍රාග්ධනය යෙදවීම අවසන් කිරීම මත මෙම සීමා කිරීම් පවත්වාගැනීම සිදු වනු ඇත. ඒ සමගම, යම් කිසි ආයෝජකයකු විසින් මෙය ඵලදායී ආයෝජනයක් ලෙස හඳුනා ගතහොත් ආයතනයේ මුදල් ප්‍රවාහයන් සහ ස්ථාවරත්වය ශක්තිමත් වනු ඇත. එමගින් ශ්‍රී ලංකා මහ බැංකුවට දැනට පනවා ඇති සීමාවන් ලිහිල් කිරීම පිළිබඳව සලකා බැලිය හැක.

 

7.      සේවකයන්ගේ තත්ත්වය කුමක් වේ ද?

මෙය ද රඳා පවතිනුයේ උපාය මාර්ගික ආයෝජකයකු හඳුනාගැනීමේ සාර්ථකත්වය මත ය.

 

8.      තැන්පතුකරුවන්ගේ පොලී ආදායම සඳහා කුමක් සිදුවේද?

සංශෝධනය කල පොලී අනුපාතයක් යටතේ මාසික පදනම මත පොලිය ගෙවනු ලැබේ.

 

9.      තැන්පතුකරුවන්ගේ කාර්යභාරය කුමක්ද?

ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ කළමණාකරනය වෙත සහය දක්වන මෙන් තැන්පතුකරුවන්ගෙන් ඉල්ලා සිටියි.