පුස්තකාලය සහ තොරතුරු මධ්‍යස්ථානය

ශ්‍රී ලංකා මහ බැංකුවේ පුස්තකාලය 2002 වසරේ දී පුස්තකාලය සහ තොරතුරු මධ්‍යස්ථානය ලෙස වැඩිදියුණු කළේ ය. පුස්තකාලය සහ තොරතුරු මධ්‍යස්ථානය ප්‍රධාන වශයෙන් යොමු වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයින්ගේ තොරතුරු අවශ්‍යතා සැපයීම කෙරෙහි ය. එයට අමතර ව, ශ්‍රී ලංකාවේ පර්යේෂණ කටයුතුවල නියැලෙන ප්‍රජාවට ආර්ථික විද්‍යාව හා බැංකු කටයුතු සම්බන්ධ ව තොරතුරු ලබා ගැනීමට එය සහාය වෙයි.

පුස්තකාල එකතුව

පොත් 28,000ක් සහ වාර්තා 20,000ක් ද ඇතුළු ව ප්‍රකාශන 50,000ක් පමණ දැනට පුස්තකාලය සහ තොරතුරු මධ්‍යස්ථානය සතු ව ඇත. එයට අනෙකුත් මහ බැංකුවල සහ ජාත්‍යන්තර සංවිධානවල වාර්ෂික වාර්තා ද ඇතුළත් ය. ඒවාට අමතර ව වාර සඟරා 200 කට වැඩි ප්‍රමාණයකින් කලාප 30,000කට අධික ප්‍රමාණයක් ද එය සතු ව ඇත. මෙම එකතුවේ බහුතරයක් ඉංග්‍රීසි භාෂාවෙන් ලියැ වී ඇත. ශ්‍රී ලංකා එකතුව සහ ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රකාශන එකතුව වැනි විශේෂ ඒකක කිහිපයක් ද වේ. එයට අමතර ව, ගෝලීය සංඛ්‍යාන, ආර්ථික සහ ව්‍යාපාර දත්ත ඇතුළත් සංගත තැටි 2,000කට වැඩි එකතුවක් මෙන් ම අලුතින් ප්‍රකාශනය කළ ග්‍රන්ථ ඇතුළත් සංගත තැටි ද පුස්තකාලය සහ තොරතුරු මධ්‍යස්ථානය සතු ව පවතී. ආර්ථික විද්‍යාව, බැංකු සහ මූල්‍ය කටයුතුවලට සම්බන්ධ මාර්ගගත වාර සඟරා, දත්ත එකතුවක් සහ මාර්ගගත තොරතුරු සේවා සඳහා ද පුස්තකාලය සහ තොරතුරු මධ්‍යස්ථානය දායකත්වය ලබා ඇත.

ප්‍රධාන විමර්ශණ අංශයට අමතර ව, විමර්ශණය කළ යුතු කරුණු දේශමාන්‍ය එන් යූ ජයවර්ධන කියැවීම් කාමරයෙන් ද ලබා ගත හැක.

 

ශ්‍රී ලංකා මහ බැංකුව සතු ව නවීනතම පහසුකම් සහිත පුස්තකාලය හා තොරතුරු මධ්‍යස්ථානයක් පවතින අතර එය ආයතනයේ දැනුම් කේන්ද්‍රස්ථානය ලෙස සැලකිය හැක. මහ බැංකුවේ කාර්ය මණ්ඩලයට අමතර ව දැනුම සොයන බාහිර පාර්ශ්වයන් වෙත ද අප පුස්තකාලය විවෘත වන අතර එම සේවාවන් ලබාගැනීම සඳහා අධ්‍යක්ෂ/සන්නිවේදන වෙතින් කලින් අවසර ලබා ගත යුතු වේ.