මූල්‍ය අන්තර්ගතභාවය 

මූල්‍ය සාක්ෂරතා විෂය මාලාව

විවිධ අධ්‍යාපනික සහ දැනුවත් කිරීමේ වැඩසටහන්වල දී සම්මත මාර්ගෝපදේශයක් ලෙස භාවිත කිරීම සඳහා මෙම විෂය මාලාව සැලසුම් කර ඇති අතර මූල්‍ය දැනුම්වත්භාවයට අදාළ සියලුම වැදගත් කාරණා ආවරණය කරමින්, මෙහි පරිච්ඡේද හතක් අන්තර්ගත වේ. එනම්: ආර්ථික පරිසරය, මූල්‍ය පරිසරය, පුද්ගල මූල්‍ය කළමනාකරණය, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSMEs) සඳහා මූල්‍ය කළමනාකරණය, ඩිජිටල් මූල්‍ය සාක්ෂරතාව, මූල්‍ය පාරිභෝගික ආරක්ෂාව සහ බදු සාක්ෂරතාව ය.

ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශය

ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතා පිළිබඳ මෙම මාර්ගෝපදේශය මෙරට ජාතික මූල්‍ය අන්තර්ගතභාවයේ මූල්‍ය සාක්ෂරතා සහ ධාරිතා වර්ධන මූලිකාංගය යටතේ සංවර්ධනය කර ඇත. මෙම මාර්ගෝපදේශය ශ්‍රී ලංකාවේ සියලු මූල්‍ය සාක්ෂරතා සේවා සපයන්නන් සඳහා මාර්ගෝපදේශයක් වනු ඇති අතර, මූල්‍ය සාක්ෂරතාවෙන් යුත් ශ්‍රී ලංකාවක් සඳහා චර්යාත්මක වෙනසක් අත්කර ගැනීමට මඟපෙන්වීමක් ද වනු ඇත. 

ජාතික මූල්‍ය අන්තර්ගතභාව ක්‍රමෝපාය ග්‍රන්ථය

මෙම ජාතික මූල්‍ය අන්තර්ගතභාව ක්‍රමෝපාය මගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අන්තර්ගතභාවය වැඩි දියුණු කිරීම සඳහා එකම දිශානතියක් තුළ ක්‍රියාත්මක කිරීමට සියලු ම පාර්ශ්වයන් මගින් භාවිත කළ හැකි දිගු කාලීන, පූර්ණ, ප්‍රමිතිගත සහ මැනවින් සම්බන්ධීකරණය කළ ප්‍රවේශයක් සැපයෙයි.

ශ්‍රී ලංකා මූල්‍ය සාක්ෂරතා සමීක්ෂණය 2021

ශ්‍රී ලංකාව සඳහා වන මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගය යටතේ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවෙහි සහාය ඇති ව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පළමු වරට පවත්වන ලද දීප ව්‍යාප්ත මූල්‍ය සාක්ෂරතා සමීක්ෂණයෙහි ප්‍රධාන සමීක්ෂණ සොයාගැනීම්වලින් ‘2021- ශ්‍රී ලංකා මූල්‍ය සාක්ෂරතා සමීක්ෂණය’ යන මෙම ප්‍රකාශනය  සමන්විත වේ. සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සම්පාදනය කිරීමේ අරමුණ ඇති ව මෙම සමීක්ෂණය මගින් ජනගහණය පුරා පවතින මූල්‍ය සාක්ෂරතා මට්ටම තක්සේරු කෙරිණි. මූල්‍ය සාක්ෂරතා සංකල්පය තුළ මූල්‍ය දැනුම, ආකල්ප සහ චර්යාව යන මූලිකාංග යටතේ මූල්‍ය  සාක්ෂරතා දත්ත සමඟ ශ්‍රී ලංකාවේ සමස්ත මූල්‍ය සාක්ෂරතා මට්ටම මෙම දත්ත ප්‍රකාශනය මගින් ඉදිරිපත් කෙරේ. මෙය මූල්‍ය අන්තර්ගතභාව ක්ෂේත්‍රය තුළ උනන්දුවක් දක්වන පුද්ගලයන් සඳහා ප්‍රයෝජනවත් තොරතුරු සමුදායකින් සමන්විත ප්‍රකාශනයකි.