නිතර අසනු ලබන ප්‍රශ්න

ව්‍යවහාර මුදල්

ශ්‍රී ලංකාව තුල ව්‍යවහාර මුදල් (කාසි හා නෝට්ටු) නිකුත් කිරීමේ අධිකාරීමය බලය දරන්නේ කුමන ආයතනය ද?

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 44 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාව තුළ ව්‍යවහාර මුදල් (නෝට්ටු සහ කාසි) නිකුත් කිරීමේ පරම අයිතිය සහ අධිකාරය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ.

දැනට සංසරණයේ පවතින්නේ කුමන වටිනාකමින් යුක්ත කාසි හා නෝට්ටු වර්ග ද?

වර්තමානයේ රු. 5000, රු. 2000, රු. 1000, රු. 500, රු. 200, රු. 100, රු. 50, රු. 20 සහ රු. 10, රු. 5, රු. 2 සහ රු. 1 වටිනාකමින් යුත් නෝට්ටු (දැනට රු. 10, රු. 5, රු. 2, සහ රු. 1 නෝට්ටු වෙනුවට කාසි හඳුන්වා දී ඇත) සහ රු. 20, රු. 10, රු. 5, රු. 2, රු. 1, සත 50, සත 25, සත 10, සත 05, සත 02 සහ සත 01 වටිනාකම්වලින් යුත් කාසි වර්ග සංසරණයේ පවතී.

මුදල් නෝට්ටු සහ කාසි සංසරණය සඳහා නිකුත් කරන්නේ කෙසේ ද?

ශ්‍රී ලංකා මහ බැංකුව රටේ මුදල් ගනුදෙනු සඳහා අවශ්‍යවන මුදල් නෝට්ටු සහ කාසි බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කරයි.

සංසරණයේ පවතින මෑතකදී නිකුත් කළ මුදල් නෝට්ටු සහ කාසිවල ප්‍රධාන ලක්ෂණ මොනවා ද?

මුදල් නෝට්ටුවල සහ කාසිවල ප්‍රධාන ලක්ෂණ පහත වගුවල‍ සඳහන් වේ.

මුදල් නෝට්ටු - 11 වන මුදල් නෝට්ටු කාණ්ඩය

ලක්ෂණ රු.20
රු.50
රු.100
රු.500
රු.1000 රු.5000
පරිමාණය (මි.මී.)
128 * 67 133*67 138*67 143*67 148*67 153*67
මුල් නිකුතුවේ සඳහන් වර්ෂය
2010 2010 2010 2010 2010 2010
ප්‍රමුඛ වර්ණය
මදටිය පැහැය නිල් පාට තැඹිලි පාට දම් පාට කොළ පාට රන් පැහැය
මුහුණත
කොළඹ වරාය අතීතයේ සහ වර්තමානයේ දිස්වන අයුරු ආරුක්කු පාලම / මනම්පිටියේ නව සහ පැරණි පාලම නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සහ ලක්ෂපාන දිය ඇල්ල ලෝක වෙළඳ මධ්‍යස්ථානය-ද්විත්ව කුළුණු, ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලය සහ ලංකාතිලක විහාරය රම්බොඩ උමග වෙහෙරගල වේල්ල සහ කැනියොන් වේල්ල
පිටුපස
වෙස් නැටුම් නර්තන ශිල්පියා සහ ගැට බෙර වාදන ශිල්පියා වඩිග පටුන නර්තන ශිල්පියා සහ යක් බෙර වාදන ශිල්පියා භරතනාට්‍යය නර්තන ශිල්පියා සහ මෘදංග බෙර වාදන ශිල්පියා තෙල්මේ නර්තන ශිල්පියා සහ යක් බෙර වාදන ශිල්පියා මල්පදය නර්තන ශිල්පියා සහ දවුල් බෙර වාදන ශිල්පියා නාගරක්ෂා සහ ගුරුලුරාක්ෂ නර්තන ශිල්පීන්

කාසි

ලක්ෂණ රු. 1 රු. 2 රු. 5 රු. 10 රු. 20**
විෂ්කම්භය (මි.මී.)
20.0 22.0 23.5 26.4 28
ඝනකම (මි.මී.)
1.75 1.75 1.80 1.80 2.0
හැඩය සහ දාරය
වටකුරු/ දුරින් දුර කට්ට සහිත වටකුරු/ ගැඹුරු කට්ට සහිත වටකුරු/ සාමාන්‍ය ලෙස කට්ට සහිත වටකුරු/පැති එකොළහක් සහිත  වටකුරු/පැති හතක් සහිත
කාසියේ සඳහන් වර්ෂය
2017 2017 2017 2017 2020
ලෝහය/මිශ්‍ර ලෝහ මල නො බඳින වානේ මල නො බඳින වානේ මල නො බඳින වානේ මල නො බඳින වානේ නිකල් ආලේපිත වානේ
මුහුණත ශ්‍රී ලංකා රාජ්‍ය ලංඡනය ශ්‍රී ලංකා රාජ්‍ය ලංඡනය ශ්‍රී ලංකා රාජ්‍ය ලංඡනය ශ්‍රී ලංකා රාජ්‍ය ලංඡනය ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන කාර්යාලය
පිටුපස වටිනාකම, රටේ නම සහ වර්ෂය වටිනාකම, රටේ නම සහ වර්ෂය වටිනාකම, රටේ නම සහ වර්ෂය වටිනාකම, රටේ නම සහ වර්ෂය වටිනාකම, රටේ නම සහ වර්ෂය

** ඉහත සඳහන් රු.20 වටිනාකමින් යුත් කාසිය ශ්‍රී ලංකා මහ බැංකුව සිය 70 වන සංවත්සරය නිමිත්තෙන් සංසරණය සඳහා නිකුත් කළ සමරු කාසියක් වන අතර ඊට අමතරව කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ 150 වන සංවත්සරය සනිටුහන් කිරීම සහ ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනයේ 150 වන සංවත්සරය සනිටුහන් කිරීම නිමිත්තෙන් තවත් රු.20 සමරු කාසි 2ක් ද මේ වන විට සංසරණයට නිකුත් කර ඇත.

මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා භාවිත කරන කඩදාසි වර්ගයේ විශේෂත්වය කුමක් ද?

මුදල් නෝට්ටු මුද්‍රණය කරනු ලබන්නේ 100% කපු මිශ්‍ර පල්පයකිනි. එ බැවින් ස්පර්ශයේ දී නෝට්ටුවේ රළු බවක් දැනේ. එසේ වුවත්, 1998 වසරේ දී නිකුත් කළ රුපියල් 200 සමරු නෝට්ටුව පොලිමර්වලින් නිපදවා ඇත.

ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා මුදල් නෝට්ටු මුද්‍රණය සහ කාසි ටංකනය කරනු ලබන්නේ කුමන ආයතන ද?

මුදල් නෝට්ටු මුද්‍රණය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ බියගම පිහිටි ඩි ලා රූ ලංකා කරන්සි ඇන්ඩ් සිකියුරිටි ප්‍රින්ට් පුද්ගලික සමාගම මගිනි.

සංසරණය සඳහා නිකුත් කරන ලද නව කාසි කාණ්ඩය (2017) ටංකනය කරන ලද්දේ ස්ලෝවැකියාවේ , “Mincovna Kremnica” යන ටංකන සමාගම වන අතර 2020 සහ ඉන් පසුව නිකුත් කළ සංසරණය සඳහා භාවිතා කරනු ලබන රුපියල් 20 සමරු කාසි, චීන මුදල් නෝට්ටු මුද්‍රණ සහ කාසි ටංකනය කිරීමේ ආයතනය (China Banknote Printing and Minting Corporation) විසින් ටංකනය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා සංසරණ කාසි ටංකනය සහ සැපයීම සඳහා සැපයුම්කරුවන් තෝරාගනු ලබන්නේ ජාත්‍යන්තරව කරනු ලබන ටෙන්ඩර් පටිපාටියක් මගින් වේ.

ව්‍යාජ මුදල් යනු කුමක්ද?

ශ්‍රී ලංකා මහ බැංකුව හැර වෙනත් ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් සංසරණය සඳහා නිකුත් කරනු ලබන මුදල් නෝට්ටු සහ කාසි ව්‍යාජ මුදල් ලෙස සලකනු ලැබේ.

වැඩි විස්තර සඳහා : https://www.cbsl.gov.lk/si/නෝට්ටු-හා-කාසි/හානිවූ-මුදල්-නෝට්ටු-හා-ව්‍යාජ-මුදල්/ව්‍යාජ-මුදල්-නෝට්ටු-වැළැක්වීම

අව්‍යාජ මුදල් නෝට්ටුවක්, ව්‍යාජ (හොර) මුදල් නෝට්ටුවකින් වෙන් කර හඳුනා ගන්නේ කෙසේ ද?

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය මැඩලීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන සියලු ම මුදල් නෝට්ටු ඉතා උසස් ආරක්ෂණ සලකුණු ඇතුළත් කරමින් මුද්‍රණය කරයි. ව්‍යවහාර මුදල් නෝට්ටුවක දැකිය හැකි ප්‍රධාන ආරක්ෂිත සලකුණු වනුයේ;

ස්පර්ශයෙන් හඳුනාගත හැකි ලක්ෂණ - (දැනෙන) දෘශ්‍ය ලක්ෂණ - පියවි ඇසට පෙනෙන දෘශ්‍ය ලක්ෂණ - විශේෂිත උපකරණ භාවිතයෙන් පෙනෙන
කඩදාසි / අමුද්‍රව්‍ය වර්ණ ක්‍ෂුද්‍ර අක්ෂර
ඉන්ටැග්ලියෝ මුද්‍රණය (උස්වූ මුද්‍රණ) දිය සළකුණ ක්‍ෂුද්‍ර තන්තු (Micro Fibers)
උස්ව මුද්‍රිත ඉරි රටා වෙර ගැන්වූ කොන් සහිත දිය සළකුණ ප්‍රතිදීප්ත සළකුණු (Fluorescent Feature)
  ආරක්‍ෂණ නූල  
  විනිවිද පෙනෙන සළකුණ  
  බහු ස්ථර සැඟවුණු වටිනාකම් සළකුණ  

 

මුදල් නෝට්ටුවක අව්‍යාජබව තහවුරු කර ගැනීම සඳහා පියවි ඇසට පෙනෙන ආරක්ෂක සළකුණු මෙන්ම විශේෂ උපකරණ භාවිතයෙන් නැරඹිය යුතු ක්ෂුද්‍ර සළකුණු හා අනෙකුත් ආරක්ෂණ සළකුණු පරීක්ෂා කර බලන්න. සෑම විට ම ආරක්ෂණ සළකුණු කිහිපයක් පරීක්ෂා කර බලන්න. එක් සළකුණක් මත පමණක් රඳා නො සිටින්න. ඔබට සැකයක් පවතී නම් සැක සහිත මුදල් නෝට්ටුව, අව්‍යාජ මුදල් නෝට්ටුවක් සමග සසඳන්න.

ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලැබුණු අවස්ථාවක දී ඔබ කළ යුත්තේ කුමක් ද?

ව්‍යාජ මුදල් නෝට්ටුවක් කිසි ම ආකාරයේ ගනුදෙනුවක් සඳහා භාවිත නො කළ යුතු වේ. ව්‍යාජ මුදල් නෝට්ටුවක් ගනුදෙනු සඳහා හිතාමතා යොදා ගැනීම බරපතල වරදක් වන අතර සිර දඩුවම් ලැබීමට, දඩයකට යටත් වීමට හෝ ඒ දෙකටම යටත් විය හැකි වරදකි. යම් තැනැත්තෙකු ව්‍යාජ මුදල් නෝට්ටුවක් හඳුනා ගත් විට ඔහු හෝ ඇය එය බාර ගැනීමෙන් වැළකිය යුතු ය. යම් පුද්ගලයෙකු නොදැනුවත්වම ව්‍යාජ මුදල් නෝට්ටුවක් අතට පත් වී ඇත් නම් වහාම එය තමා වෙත ලැබුන ආකාරය පිළිබඳ විස්තර දක්වමින් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දීම හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් ඒකකයට (0112422176 හෝ 0112326670) දන්වා ඔවුන්ගේ උපදෙස් පිළිපදින්න.

භාවිතයට නුසුදුසු මුදල් නෝට්ටුවක් ‍යනු කුමක් ද?

ඉරී යාම, අපිරිසිදුවීම, දිරාපත්වීම, මුදල් නෝට්ටුව මත යම් යම් දේ ලියා තිබීම නිසා හඳුනා ගැනීම අපහසු වීම, සංසරණයේ දී සිදු වන සුලු හානි වීම් හා හිතාමතා විකෘති කිරීම ආදිය මගින් භාවිතයට නුසුදුසු තත්ත්වයට පත් වලංගු මුදල් නෝට්ටු භාවිතයට නුසුදුසු මුදල් නෝට්ටු ලෙස සැලකේ. මේවා සේවා අනිසි මුදල් නෝට්ටු, පළුදු (විකල) වූ මුදල් නෝට්ටු හා සිතාමතා විකෘති කරන ලද, හානි කරන ලද හෝ වෙනස් කරන ලද මුදල් නෝට්ටු වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකි ය.

“සේවා අනිසි නෝට්ටු”
සංසරණය වීම හේතුවෙන් අපිරිසිදු වීම, ඉතාමත් තදින් කිලිටි වීම, දිරාපත් වීම මගින් සේවා අනිසි මුදල් නෝට්ටු බවට පත් වූ වලංගු මුදල් නෝට්ටු මේ යටතට ගැනේ. එහෙත් එය විකල වූ මුදල් නෝට්ටුවක් ලෙස නො සැලකේ.

“* පළුදු (විකල) වූ මුදල් නෝට්ටු ”
දිරාපත් වීම නිසා එහි කොටස් අඩු වීමෙන් සම්මත ප්‍රමාණයට වඩා ප්‍රමාණයෙන් කුඩා වීම, ස්වරූපය වෙනස් වීම, පිලිස්සීම, තදින් කිලිටි වීම, කැඩී යෑම, ඉරී යාම සහ විකෘති කිරීම හෝ හදිසි අවස්ථාවන් හේතුවෙන් හෝ විවිධ ස්වාභාවික විපත් හේතුවෙන් ආරක්ෂක සලකුණු, මුදල් නෝට්ටුවේ දිනය, අනුක්‍රමික අංකය හා අත්සන් ආදියට හානි සිදු වී ඇති අබලන් තත්ත්වයට පත් වූ මුදල් නෝට්ටු විකල වූ මුදල් නෝට්ටු ලෙස සැලකේ.

"සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද හෝ වෙනස් කරන ලද නෝට්ටු"

ව්‍යවහාර මුදල් නෝට්ටුවල අනුක්‍රමික අංකය, දිනය, අත්සන්, වටිනාකම හෝ ආරක්ෂණ සළකුණු මත ලිවීම, ඇඳීම, අත්සන් කිරීම හෝ සංකේත යෙදීම යනාදී ක්‍රම මගින් සැලකිය යුතු ආකාරයට වෙනස් කරන ලද මුදල් නෝට්ටු මේ යටතට වැටේ.

සේවා අනිසි මුදල් නෝට්ටු බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා හුවමාරු කර ගත හැකිද?

ඔව්. සේවා අනිසි මුදල් නෝට්ටු බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා හුවමාරු කර ගත හැක.

හානි වූ/විකල වූ මුදල් නෝට්ටු වාණිජ බැංකුවලින් මාරුකර ගත හැකිද?

හැක. හානියට පත් මුදල් නෝට්ටු බාර ගැනීම බලපත්‍රලාභී වාණිජ බැංකුවල අභ්‍යන්තර ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි මත රඳා පවතී. බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් හානි වූ මුදල් නෝට්ටු බාර ගැනීම කළ හැකි අතර වැඩි දුරටත් ඒවායේ තක්සේරු අගයන් පරීක්ෂා කිරීම/නිශ්චය කිරීම සඳහා මෙම මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කළ හැකිය.

සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද හෝ වෙනස් කරන ලද මුදල් නෝට්ටු බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා හුවමාරු කර ගත හැකි ද?

නො හැක. මෙම මුදල් නෝට්ටු හුවමාරු කර ගත හැක්කේ ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන කාර්යාලයේ පළුදු මුදල් හුවමාරු කිරීමේ කවුන්ටරය හරහා පමණි.

හිතාමතාම විකෘති කරන ලද, හානි කරන ලද හෝ වෙනස් කරන ලද මුදල් නෝට්ටු ප්‍රතිපූර්ණය සඳහා අවශ්‍ය අයදුම්පත බාගත කිරීමට පහත සබැඳිය භාවිතා කරන්න:

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/notes_coins/Declaration_Willfully_Mutilated_Currency_S.pdf

බලපත්‍රලාභී වාණිජ බැංකු මගින් කාසි හුවමාරු කිරීම ප්‍රතික්ෂේප කළ හැකිද?

නැත. ඔවුන් ඕනෑම කාසි ප්‍රමාණයක් බාරගත යුතු ය.

හානි වූ/විකල වූ මුදල් නෝට්ටුවක් ලැබුනු අවස්ථාවක දී කළ යුත්තේ කුමක් ද?

එ වැනි මුදල් නෝට්ටු (පිළිස්සුනු, දිරාපත් වූ, කොටසක් ඉරුණු, හානි වූ ආදිය) සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් වටිනාකම සඳහා හිමිකම් පෑ හැකි ය. හානි වූ/විකල වූ මුදල් නෝට්ටු සැකසීම සඳහා පහත සඳහන් මාර්ගෝපදේශයන් පිළිපදින්න.

අංකය හානියේ ස්වභාවය සැකසිය යුතු ආකාරය
1. සම්පූර්ණයෙන් වෙන් නොවන ලෙස ඉරී ඇති මුදල් නෝට්ටු ව්‍යවහාර මුදල් නෝට්ටුවේ දෙපසම විනිවිද පෙනෙන ඇලවුම් පටියක් ආධාරයෙන් එකතු කරන්න.
2. කොටස් කිහිපයකට ඉරී ගිය ද සියලු කොටස් තිබෙන මුදල් නෝට්ටු ව්‍යවහාර මුදල් නෝට්ටුවේ දෙපස ම විනිවිද පෙනෙන ඇලවුම් පටියක් ආධාරයෙන් එකතු කරන්න. එක් එක් කොටස ආසන්න වශයෙන් නෝට්ටුවේ මුල් ආකාරය ගන්නා පරිදි සකසන්න.
3. කෙළවර ප්‍රදේශයක් හෝ කුඩා කොටසක් නොමැති වූ හෝ සිදුර සහිත මුදල් නෝට්ටු කොළයක් ඇලවීම අවශ්‍ය නො වේ.
4. සැලකිය යුතු ප්‍රමාණයේ කොටසක් නොමැති වූ මුදල් නෝට්ටු අඩු වී ඇති කොටසට සමාන ප්‍රමාණයේ හිස් සුදු කඩදාසියක් විනිවිද පෙනෙන ඇලවුම් පටියක් ආධාරයෙන් හෝ ඇලවුම් ද්‍රව්‍යයක් ආධාරයෙන්  හානි වූ නෝට්ටුවේ පිටුපස අලවන්න.අඩු වී ඇති කොටසට සමාන ප්‍රමාණයේ හිස් සුදු කඩදාසියක් විනිවිද පෙනෙන ඇලවුම් පටියක් ආධාරයෙන් හෝ ඇලවුම් ද්‍රව්‍යයක් ආධාරයෙන් හානි වූ මුදල් නෝට්ටුවේ පිටුපස අලවන්න. ඇල වූ මුදල් නෝට්ටුව අදාළ නෝට්ටු වර්ගයේ සම්මත ප්‍රමාණයට පවතින බව තහවුරු කරන්න.

හානි වූ මුදල් නෝට්ටුව සඳහා ගැලපෙන ක්‍රමවේදය අනුගමනය කර ලියා පදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවීමෙන් එහි තක්සේරු කරන ලද වටිනාකම ලබා ගත හැක.
     ව්‍යවහාර මුදල් අධිකාරී,
     ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව,
     ශ්‍රී ලංකා මහ බැංකුව,
     ජනාධිපති මාවත,
     කොළඹ 01.

වැඩි විස්තර සඳහා;
https://www.cbsl.gov.lk/si/නෝට්ටු-හා-කාසි/හානිවූ-මුදල්-නෝට්ටු-හා-ව්‍යාජ-මුදල්/පලුදු-වූ-මුදල්-නෝට්ටු-හුවමාරු-කිරීම

මීට අමතර ව, සේවා අනිසි හෝ විකල වූ මුදල් නෝට්ටු බදාදා දින (ප්‍රසිද්ධ හා බැංකු නිවාඩු දින හැර) පෙරවරු 9.00 සිට මධ්‍යහන12.00 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ පළුදු මුදල් හුවමාරු කිරීමේ කවුන්ටරය වෙත ඉදිරිපත් කළ හැක.

     කවුන්ටර් අංශය,
     4 වන මහල, 5 වන කුළුන,
     ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල,
     ශ්‍රී ලංකා මහ බැංකුව,
     ජනාධිපති මාවත, කොළඹ 01.

පළුදු වූ/විකෘති වු නුසුදුසු මුදල් නෝට්ටුවල මුහුණත වටිනාකම සම්පූර්ණයෙන් ලබා ගත හැකි ද?

- සම්පූර්ණ අනුක්‍රමික අංකය සහිත, ¾ කට වඩා වැඩි ප්‍රමාණයකින් යුත් පළුදු වූ/විකෘති වූ මුදල් නෝට්ටුවක් සඳහා ඒවායේ මුහුණත වටිනාකම සම්පූර්ණයෙන් ලබා ගත හැක.

- ප්‍රමාණයෙන් ½කට වැඩි එහෙත් ¾කට අඩු අනුක්‍රමික අංකය සම්පූර්ණයෙන් ඇති නෝට්ටු සඳහා මුහුණත වටිනාකමෙන් අඩක් ලබා ගත හැක

- කෙසේ වුව ද පළුදු වූ/විකෘති වූ මුදල් නෝට්ටුවක් සඳහා ගෙවිය හැකි වටිනාකම තීරණය කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ පලුදු නෝට්ටු සඳහා ගෙවීමේ අධිකාරිමය බලය ලත් කමිටුවේ අභිමතය පරිදි වේ.

භාවිතයට නුසුදුසු/විකල වූ මුදල් නෝට්ටු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ගනු ලබන ක්‍රියාමාර්ග කුමක් ද?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාවිතයට නුසුදුසු මුදල් නෝට්ටු සංසරණයෙන් ඉවත් කර යන්ත්‍ර මගින් කපා විනාශ කර දමනු ලබයි.

මුදල් නෝට්ටුවක් හිතාමතා විකෘති කිරීම හෝ විකල කිරීම සම්බන්ධයෙන් යම් රෙගුලාසි පවතින්නේ ද?

ඔව්. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 55 දරන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොර ව, යම් තැනැත්තෙකු විසින් සිදු කරනු ලබන පහත සඳහන් ක්‍රියාවන් හේතුවෙන් ඔහු වරදකරුවකු කළ හැකි ය.

  1. මුදල් නෝට්ටුවක් කැපීම, සිදුරු කිරීම, හෝ වෙනත් මොනයම් ආකාරයකින් හෝ විකල කිරීම;
  2. මුදල් නෝට්ටුවක් මත යමක් මුද්‍රණය කිරීම, ඇලවීම, ඇඳීම හෝ මුද්‍රා තැබීම;
  3. මුදල් නෝට්ටු මත යමක් ඇමිණීම හෝ ඇලවීම කුමන ආකාරයකින් හෝ ප්‍රචාරාත්මක කටයුතු සඳහා යොදා ගැනීම.

ආභරණ හෝ වෙනත් දෑ සෑදීම සඳහා වලංගු කාසි භාවිත කළ හැකි ද?

නො හැක. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව ශ්‍රී ලංකාවේ වලංගු කාසියක් උණු කිරීම, කැඩීම, සිදුරු කිරීම, විකල කිරීම හෝ නීත්‍යනුකූල ගනුදෙනු සඳහා හැර වෙනත් කිසි ම කටයුත්තක් සඳහා යොදා ගැනීම දඞුවම් ලැබිය හැකි වරදකි.‍

ව්‍යවහාර මුදල් නෝට්ටුවක් ප්‍රති නිෂ්පාදනය කළ හැකි ද?

නො හැක.2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ අංක 55(ඩී) වගන්තිය අනුව පාලක මණ්ඩලයේ අවසරයකින් තොර ව ව්‍යවහාර මුදල් නෝට්ටුවක් ඡායා පිටපත් කිරීම, ස්කෑන් පිටපත් ලබා ගැනීම, ඇඳීම ආදියෙන් හෝ වෙන කුමන ආකාරයකින් ප්‍රතිනිෂ්පාදනය කිරීම දඞුවම් ලැබිය හැකි වරදකි.‍

ව්‍යවහාර මුදල් නෝට්ටු නිර්මාණය කිරීමේ දී ඒ සඳහා සලකා බලනු ලබන අංග මොනවා ද? ඒවා තීරණය කරනු ලබන්නේ කවුරුන් විසින් ද?

ව්‍යවහාර මුදල් නෝට්ටු නිර්මාණය, නිෂ්පාදනය හා නිකුත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවට පැවරී ඇති වගකීමකි. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු නිර්මාණය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී රජයේ උපදෙස් මෙන්ම මහජනතාවගේ අදහස් සහ යෝජනා ද සලකා බලනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන මුදල් නෝට්ටු වල වටිනාකම්, පරිමාණයන්, සැලසුම්, නිර්දේශයන් සහ අනෙකුත් ලක්ෂණ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව පාලක මණ්ඩලය විසින් නියම කරනු ලබයි.

පැරණි මුදල් නෝට්ටු සහ කාසි හෝ වෙනත් සමරු මුදල් මිල දී ගත හැක්කේ කෙසේ ද?

පවතින තොග ප්‍රමාණය අනුව, අංක 54, චැතම් වීදිය, කොළඹ 01 යන ලිපිනයෙහි සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ලේ පිහිටි ආර්ථික ඉතිහාස කෞතුකාගාරයෙන් හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් මුදල් නෝට්ටු සහ කාසි හෝ වෙනත් සමරු මුදල් මිලදී ගත හැකිය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික ඉතිහාස කෞතුකාගාරය මගින් හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඕනෑම ප්‍රාදේශීය කාර්යාලයකින් මාර්ගගත ක්‍රමය මගින් පැරණි මුදල් නෝට්ටු සහ කාසි හෝ වෙනත් සමරු මුදල් මිලදී ගැනීම් කළ හැකිද?

මේ වන විට මාර්ග ගත ක්‍රමය ඔස්සේ මිලදී ගැනීමේ පහසුකම තාවකාලිකව ක්‍රියාත්මක නොවන අතර සියලු මිලදී ගැනීම් සඳහා ආර්ථික ඉතිහාස කෞතුකාගාරය හෝ ඕනෑම ප්‍රාදේශීය කාර්යාලයක් වෙත පැමිණ සිදු කළ හැක.

ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් විකාශය පිළිබඳ ඵෙතිහාසික තොරතුරු ලබා ගත හැක්කේ කෙසේ ද?

ව්‍යවහාර මුදල් සම්බන්ධයෙන් ඵෙතිහාසික තොරතුරු පහත සඳහන් ආකාරවලින් ලබා ගත හැකි ය.

අ) ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් ලිපිනයන්හි කෞතුකාගාර තුනක් පිහිටුවා ඇති අතර එම ස්ථානවලින් මහජනතාවට අවශ්‍ය ඵෙතිහාසික තොරතුරු හා ප්‍රකාශන ලබා ගත හැක.

ආර්ථික ඉතිහාස කෞතුකාගාරය,
සෙන්ට්‍රල් පොයින්ට් ගෙඩනැගිල්ල,
54, චැතැම් වීදිය,
කොළඹ 01.

දුර. අංක : +94 11 2444503
ඊ මේල් : currency@cbsl.lk

මුදල් කෞතුකාගාරය,
ප්‍රාදේශීය කාර්යාලය- උතුරු මැද පළාත,
ශ්‍රී ලංකා මහ බැංකුව,
1 පියවර,
අනුරාධපුරය

මුදල් කෞතුකාගාරය,
ප්‍රාදේශීය කාර්යාලය - දකුණු පළාත,
තැ.පෙ. 35,
අනගාරික ධර්මපාල මාවත,
මාතර

ඊට අමතර ව පහත සඳහන් ස්ථානයෙන් හා අන්තර්ජාලය හරහා තොරතුරු ලබා ගත හැක.

http://www.museum.gov.lk/web/index.php?lang=si

ජාතික කෞතුකාගාරය,
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
සර් මාකස් ප්‍රනාන්දු මාවත
කොළඹ 7 

ආ) පහත සඳහන් ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රකාශන වලින් ද තොරතුරු රැස් කර ගත හැක.

  1. ටී.එම්.යූ සලේ මහතා විසින් රචිත "Sri Lanka Currency in Recent Times"
  2. එච්.එස්. ද සිල්වා මහතා විසින් රචිත "History of Coins and Currency in Sri Lanka"
  3. යසපාල පෙරේරා මහතා විසින් රචිත “හොර නෝට්ටු හඳුනා ගනිමු” (මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික ඉතිහාස කෞතුකාගාරයෙ හි පිහිටි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ විකුණුම් කවුළුවෙන් මිලදී ගත හැක.)
  4. ෂෙලෝමි එච් ගුණවර්ධන මෙනවිය සහ ඩබ්ලිව් එම් කේ වීරකෝන් මහතා විසින් රචිත "මුදල් නිකුත් කිරීමේ සහ කළමනාකරණයේ 70 වසරක ගමන" ඉංග්‍රීසි භාෂා ප්‍රකාශනය
  5. "පුරාණයෙන් රුපියලට" - ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රකාශනයකි
  6. වෙනත් ව්‍යවහාර මුදල් සම්බන්ධ අත් පත්‍රිකා ශ්‍රී ලංකා මහ බැංකු කෞතුකාගාරවලින් ලබා ගත හැක.

 ආර්ථික ඉතිහාස කෞතුකාගාරය විවෘතකර තබන වේලාවන්

උදෑසන 9.00 සිට පස්වරු 4.15 දක්වා රජයේ සහ බැංකු නිවාඩු දිනවල දී හැර සතියේ දිනවල විවෘතයි.