නිතර අසනු ලබන ප්‍රශ්න

රාජ්‍ය ණය සුරැකුම්පත්

රාජ්‍ය ණය සුරැකුම්පත් යනු මොනවා ද? 

රාජ්‍ය ණය සුරැකුම්පත් යනු කල් පිරීම මත ආපසු ගෙවීමේ පොරොන්දුව මත රජය විසින් නිකුත් කරන ලද ණය උපකරණයකි. භාණ්ඩාගාර බැඳුම්කර, ශ්‍රි ලංකා සංවර්ධන බැඳුම්කර  සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වැනි රාජ්‍ය සුරැකුම්පත් සඳහා කාලානුරූපී ව කූපන් හෝ පොලී ගෙවීමට හා කල් පිරීමේදී මුල් මුදල ගෙවීමට ද පොරොන්දු වේ.  භාණ්ඩාගාර බිල්පත් වට්ටම් සහිත ව නිකුත් කරන අතර කල් පිරීමේ දී වට්ටම් සහ මූලික ගෙවීම් ගෙවනු ලැබේ. ශ්‍රි ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරන අතර ඒවා කල් පිරීමේ දී ආපසු ගෙවනු ලැබේ.  රජයේ සහතිකභාවය නිසා මෙම සුරැකුම්පත් පෙරනිමි අවදානම් රහිත උපකරණ ලෙස සැලකේ. 

ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද දේශීය ණය සුරැකුම්පත් මොනවා ද?

        1. භාණ්ඩාගාර බිල්පත්
        2. භාණ්ඩාගාර බැඳුම්කර
        3. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර

දේශීය ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද විකිණිය හැකි ණය උපකරණ මොනවා ද?

භාණ්ඩාගර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර දේශීය ආයෝජකයින් සඳහා ලබා ගත හැකි වෙළෙඳ ණය උපකරණ වේ.

භාණ්ඩාගාර බිල්පතක් යනු කුමක් ද?

භාණ්ඩාගාර බිල්පතක් යනු 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ (සංශෝධිත පරිදි) ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද කෙටි කාලීන ණය උපකරණයක් වන අතර එය රජයේ අයවැය අවශ්‍යතා සඳහා යොදා ගැනේ. 

භාණ්ඩාගාර බැඳුම්කරයක් යනු කුමක් ද?

භාණ්ඩාගාර බැඳුම්කරයක් යනු 1937 අංක 7 දරන ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද මධ්‍යකාලීන හා දිගුකාලීන ණය මෙවලමකි (සංශෝධිත). එය රජයේ අයවැය අවශ්‍යතා සඳහා යොදා ගැනේ.

භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ප්‍රධාන ලක්ෂණ මොනවා ද?

      1. පැහැර හැරීමේ අවදානම් රහිත, වඩාත් සුදුසු ණය උපකරණ වේ.
      2. භාණ්ඩාගාර බිල්පත් යනු කෙටිකාලීන ශුන්‍ය කූපන් ණය උපකරණයක් වන අතර භාණ්ඩාගාර බැඳුම්කර යනු මධ්‍යකාලීන සිට දිගුකාලීන ණය උපකරණයකි.
      3. භාණ්ඩාගාර බිල්පත් සඳහා කල් පිරීමේ දී මුල් මුදල් ගෙවනු ලැබේ. භාණ්ඩාගාර බැඳුම්කර සඳහා අර්ධ වාර්ෂික කූපන් සහ කල් පිරීමේ දී මුල් මුදල ගෙවනු ලැබේ.
      4. භාණ්ඩාගාර බිල්පත් සඳහා කල්පිරීමේ දී කල් පිරෙන මුදල් ගෙවනු ලැබෙන අතර භාණ්ඩාගාර බැඳුම්කර සඳහා අර්ධ වාර්ෂික කූපන් ගෙවීම් සහ මූලික මුදල් කල් පිරෙන විට ආපසු ගෙවනු ලැබේ.
      5. ඵලදා අනුපාතය තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොළ ය.
      6. ද්විතීයික වෙළෙඳපොළ තුළ වෙළෙඳාම් කළ හැකි උපකරණ
      7. නිර්ලේඛිත ආකෘතියෙන් නිකුත් කෙරේ. 

විදේශීය ආයෝජකයකු වශයෙන් මා හට භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කළ හැකි ද?

ඔව්. ඔබ පහත සඳහන් එක් කාණ්ඩයකට වැටෙනවා නම්;

        • රාජ්‍ය අරමුදල්, අන්‍යෝන්‍ය අරමුදල් හෝ ප්‍රාදේශීය අරමුදල් ඇතුළු විදේශ ආයතනික ආයෝජකයින්
        • ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත ආයතන
        • අනේවාසික ශ්‍රී ලාංකිකයන්
        • ශ්‍රී ලංකාවේ පදිංචි හෝ ශ්‍රි ලංකාවෙන් පත ජීවත් වන විදේශික පුරුවැසියන්

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් මා හට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?

ස්වෛරීත්ව රාජ්‍ය විසින් නිකුත් කරනු ලබන බැවින් එය අවදානම් රහිත නිදහස් ආයෝජනයක් වේ.  එ බැවින් ඒවා රත්රන් මගින් සුරක්ෂිත කර ඇති බව අරුත් ගැන්වෙන පරිදි රන් සුරැකුම් ණය උපකරණ ලෙස හැඳින්වේ.

        • ඵලදා අනුපාතිකයන් වෙළෙඳපොළ මගින් තීරණය කරනු ලබන බැවින් ඔබට ඉහළ පොලී අනුපාතයක් ලබාගත හැකි ය.
        • මෙම බිල්පත් ද්විතීයික වෙළෙඳපොළ තුළ වෙළෙඳාම් කළ හැකි බැවින් ඒවා වෙළෙඳපොළ තුළ විකිණීමෙන් ක්ෂණික ද්‍රවශීලතාව ලබා ගත හැකි ය.
        • සියලු කල් පිරීම්වලින් ලැබෙන ආදායම් සහ ප්‍රාග්ධන ලාභය සම්පූර්ණයෙන් ම ආපසු ගෙන්වා ගත හැකි ය.
        • වෙනත් පුද්ගලයෙකු හෝ පුද්ගලයකු සමඟ ඒකාබද්ධ ආයෝජනයක් කිරීමට ද ඔබට හැකි ය. ඒ නිසා, එය ආදරය කරන පුද්ගලයන් සමඟ ඔබගේ ආයෝජන බෙදා ගැනීමට ඉතා හොඳ ක්‍රමයකි.
        • ඔබේ ආයෝජන පවත්වා ගෙන යාම සඳහා නවීන නිර්ලේඛන සුරැකුම්පත් පද්ධතිය සහ ස්වයංනියම මධ්‍යම තැන්පතු ක්‍රමය මගින් ඔබට ශ්‍රි ලංකා මහ බැංකුවෙන් හොඳම සේවාව ලබා ගත හැකි ය.

භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීම/විකිණීම සඳහා සහ මුදල් රැස් කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත කුමක් ද?

කරුණාකර 2013.04.10 දිනැති අංක 08/24/031/0018/001 දරන ශ්‍රි ලංකා රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් විදේශ ආයෝජකයින් සහ අනේවාසික ශ්‍රී ලාංකිකයන් සඳහා මාර්ගෝපදේශ/ ක්‍රියා පටිපාටි බලන්න.

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර යනු කුමක් ද?

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDBs) යනු 1957 අංක 29 දරන විදේශ ණය පනතට අනුව ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජනපද ඩොලර් මගින් නාමනය කරන ලද ණය උපකරණ වේ. ආපසු ගෙවීම ශ්‍රී ලංකා රජය විසින් සහතික කරනු ලැබේ.

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ප්‍රධාන ලක්ෂණ මොනවා ද?

        1. අර්ධ වාර්ෂික පොලී ගෙවීම්
        2. අවම ආයෝජනය ඇ.ඩො. 10,000 සහ ඇ.ඩො. 10,000 ගුණාකාර වේ.
        3. ආයෝජන මුදල් වර්ගය ඇමරිකානු ඩොලර්
        4. ස්ථාවර හා නම්‍යශීලී (මාස 6 ක ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතිකය (LIBOR) හෝ එහි අනුප්‍රාප්තික පොලී අනුපාත / කූපන් අනුපාතයන්ගෙන් ලබා ගත හැක.
        5. තරගකාරී ලංසු තැබීම මගින් නිකුත් කරනු ලැබේ.
        6. නිර්ලේඛිත ආකෘතියෙන් නිකුත් කෙරේ.

රාජ්‍ය සුරැකුම්පත් සඳහා තොරතුරු ලබා ගන්නේ කෙසේ ද?

        1. රජයේ පවත්නා සුරැකුම්පත් පිළිබඳ තොරතුරු සහ පවත්නා වෙළෙඳපොළ අනුපාත පිළිබඳ විස්තර බලපත්‍රලාභී වාණිජ බැංකු, ප්‍රාථමික වෙළෙඳුන් සහ මහ බැංකුවේ වෙබ් අඩවිය මගින් ලබා ගත හැකි ය.
        2. වත්මන් වෙන්දේසි පිළිබඳ විස්තර ප්‍රාථමික වෙළෙඳුන් සහ බලපත්‍රලාභි වාණිජ බැංකු වෙතින් ලබා ගත හැකි ය.
        3. රාජ්‍ය සුරැකුම්පත් පිළිබඳ කිසියම් විස්තරයක් ශ්‍රි ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙතින් ලබා ගත හැකි ය.

ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද රාජ්‍ය ණය සුරැකුම්පත් වෙළෙඳපොළ පිළිබඳ ව තොරතුරු දේශීය හා විදේශීය ආයෝජකයින්ට ලබා ගත හැකි වන්නේ කෙසේ ද?

පුවත්පත් සහ මෙම වෙබ් අඩවියෙන් වෙළෙඳපොළ තොරතුරු ලබා ගත හැකි ය.

නිර්ලේඛිත රාජ්‍ය සුරැකුම්පත් යනු කුමක් ද?

නිර්ලේඛිත රාජ්‍ය සුරැකුම්පත් යනු දත්ත ඇතුළත් කිරීමේ ආකෘතියකින් නිකුත් කරනු ලබන කඩදාසි සහතිකවලින් තොර සුරැකුම්පත් වේ.

ලංකාසෙකියු පද්ධතිය යනු කුමක් ද?

ලංකාසෙකියු පද්ධතිය යනු ශ්‍රි ලංකා මහ බැංකුව විසින් මුදල් නීති පනත යටතේ ස්ථාපිත කරන ලද නිර්ලේඛිත සුරැකුම්පත් පියවීමේ පද්ධතිය (SSSS) සහ මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) වේ.

නිර්ලේඛිත සුරැකුම්පත් පියවීමේ පද්ධතිය යනු කුමක් ද?

නිර්ලේඛිත සුරැකුම්පත් පියවීමේ පද්ධතිය නමින් හඳුන්වන ක්‍රමය මගින් නිර්ලේඛිත සුරැකුම්පත් ගනුදෙනු විද්‍යුත් පියවීමේ ක්‍රමයට පියවීම සිදු කරනු ලබයි.  මෙ මගින් සුරැකුම්පත් පියවීම ක්ෂණික ව සහ ගනුදෙනුව සිදු වූ සැණින් ම සිදු කරනු ලබයි. ගනුදෙනුවක් සිදු වන සෑම අවස්ථාවක දී ම සුරැකුම්පත් එක් ගිණුමක සිට තවත් ගිණුමකට විද්‍යුත් දත්ත ඇතුළත් කිරීමේ ආකෘතියෙන් මාරු වේ.

මධ්‍යම තැන්පතු පද්ධතිය යනු කුමක් ද?

මධ්‍යම තැන්පතු පද්ධතිය යනු පරිගණක පදනම් වූ රාජ්‍ය සුරැකුම්පත් රඳවා තබා ගැනීමේ වාර්තා පවත්වාගෙන යනු ලබන දත්ත සමුදායකි.  මෙ මගින් පද්ධතියේ සහභාගීකරුවන්ගේ ගිණුම් සහ සෑම සුරැකුම්පත් හිමිකරුවකුගේ ම තනි ගිණුම් ද පවත්වා ගෙන යනු ලබයි. නිර්ලේඛිත සුරැකුම්පත් හිමකාරිත්වය මාරුවීම් මධ්‍යම තැන්පතු පද්ධතිය මගින් විද්‍යුත් ක්‍රමයට සහභාගීකරුවන්ගේ උපදෙස් පරිදි වාර්තා කරනු ලැබේ.  එ නම් ප්‍රාථමික අලෙවිකරුවන්, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මුදල් මණ්ඩලය මගින් අනුමත කරන ලද අනෙකුත් ඕනෑ ම ආයතනයක්. 

ආයෝජකයන්ට ලංකාසෙකියු සමඟ ඇති සම්බන්ධතාවය කුමක් ද?

        • රාජ්‍ය සුරැකුම්පත් ආයෝජකයින්ට සෘජු අලෙවි සහභාගීකරුවන් හරහා ලංකාසෙකියුහි ගිණුම් අරඹා පවත්වා ගෙන යා හැකි ය.  එ නම් ප්‍රාථමික අලෙවිකරුවන් සහ බලපත්‍රලාභි වාණිජ බැංකු
        • ආයෝජකයින්ට අදාළ සියලු ගනුදෙනු ප්‍රාථමික අලෙවිකරුවන් හා බලපත්‍රලාභි වාණිජ බැංකු හරහා ආයෝජකයෙකුට ම වෙන් වූ ගිණුමක් ලංකාසෙකියුහි පවත්වා ගෙන යනු ඇත. ආයෝජකයන්ට එක් හෝ ඊට වැඩි ගණනක් සෘජු අලෙවි සහභාගීකරුවන් හරහා ගිණුම් පවත්වා ගෙන යා හැකි ය.

මම රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජකයකු නම් මට ලංකාසෙකියු වෙතින් ගිණුම් ප්‍රකාශ ලැබේ ද?

පහත සඳහන් දේ සහිත ප්‍රකාශන ලංකාසෙකියු වෙතින් ගිණුම් හිමියකුට නිකුත් කරනු ලැබේ.

      1. මාසයක් තුළ සිදු වූ ගනුදෙනු තහවුරු කරමින් මාසික ප්‍රකාශයක් නිකුත් කෙරේ.  එක් මාසයක් තුළ කිසිදු ගනුදෙනුවක් සිදු වී නොමැති නම් එම මාසයට අදාළ ප්‍රකාශනය පද්ධතිය මගින් ජනනය නො වනු ඇත.
      2. සෑම ආයෝජකයකුගේ ම නො පිය වූ ශේෂය තහවුරු කරමින් අර්ධ වාර්ෂික ප්‍රකාශයන් නිකුත් කෙරේ.
      3. ආයෝජකයකුට කල්පිරීම්වලින් සහ /හෝ කූපන් ගෙවීම්වලින් මුදල් ගෙවීම් ඇති අවස්ථාවල දී ඒවා දක්වමින් ප්‍රකාශයක් නිකුත් කෙරේ.

මෙම ප්‍රකාශයන් ආයෝජකයන් ලංකාසෙකියුහි මධ්‍යම තැන්පතු ක්‍රමයේ ලියාපදිංචි නමට සහ ලිපිනයට නිකුත් කරනු ලැබේ.

ලංකාසෙකියු ගිණුම් අන්තර්ජාලය හරහා පරීක්ෂා කළ හැකි ද?

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් හඳුන්වා දී ඇති ලංකාසෙකියුනෙට් නම් පද්ධතිය මගින් ගිණුම්හිමියන්ට තමන්ගේ රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනයන්ට අදාළ විස්තර ඕනෑ ම අවස්ථාවක අන්තර්ජාලය හරහා පරීක්ෂා කළ හැකි ය.

ලංකාසෙකියුනෙට් යනු කුමක් ද?

ලංකාසෙකියුනෙට් යනු රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජකයන්ට තමන්ගේ ගනුදෙනුවලට අදාළ විස්තර, පොලී හා කල් පිරීම් ගෙවීම් සහ නො පිය වූ ශේෂය ලබා ගත හැකි අන්තර්ජාලය පදනම් වූ සේවාවකි.  මෙම පහසුකම මගින් ආයොජකයන්ට අදාළ වර්තමාන මෙන් ම අතීත විස්තර ද ලබා ගත හැකි ය. ලංකාසෙට්ල් සහභාගීකරුවන්ට තිබෙන බ්‍රවුසර් වර්ක්ස්ටේෂන් (Browser Workstation) මගින් දින දර්ශන දින 5ක් පරණ විස්තර පමණක් සපයන බැවින් මෙම පහසුකම සහභාගීකරුවන්ට ද ප්‍රතිලාභදායී වේ.

ලංකාසෙකියුනෙට් පහසුකම ලබා ගන්නේ කෙසේ ද?

මෙම අන්තර්ජාල පහසුකම ලබා ගැනීමට කැමති ඕනෑ ම ආයෝජකයෙකුට ම පහත දැක්වෙන පියවර මගින් ලංකාසෙකියු කස්ටමර් ඉන්ෆෝමේෂන් පද්ධතිය (Lankasecure Customer Information) වෙබ් අඩවියට ප්‍රවේශ විය හැකි ය.