2017 මාර්තු මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

2017 වසරේ මාර්තු මාසයේ දී අපනයන ආදායම, පසුගිය මාස දෙක තුළ දී වාර්තා කළ පහ‍‍ළ යෑමේ ප්‍රවණතාව වෙනස් කරමින් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී සියයට 9.8 කින් වර්ධනය විය.  කෙසේ වෙතත්, අපනයන ආදායම අභිබවා ආනයන වියදම ඉහ‍ළ යෑම හේතුවෙන්  2017 වසරේ මාර්තු මාසයේ දී වෙළෙඳ හිඟය, 2016 වසරේ අනුරූප මාසය හා සැසඳීමේ දී පුළුල් විය. ධාවන පථය අළුත්වැඩියා කිරීමේ කටයුතු වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි දෛනික කටයුතු සීමා කිරීම හේතුවෙන් සංචාරක ඉපැයීම්, පෙර මාසයේ දී මෙන් ම අඩුවීමක් වාර්තා කළේ ය. මේ අතර, 2017 මාර්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්හි ද අඩුවීමක් වාර්තා විය. මූල්‍ය ගිණුමෙහි, කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශීය ලැබීම් අඛණ්ඩ ව ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර,  රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් වාර්තා වූ ශුද්ධ ගෙවීමේ ප්‍රවණතාවයෙහි වෙනසක් ඇති කරමින් 2017 මාර්තු මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත සුළු ශුද්ධ ලැබීමක් වාර්තා විය. විදේශීය අංශයෙහි ස්ථාවරත්වය සඳහා ඉවහල් වන ඉහත සඳහන් මූල්‍ය ලැබීම්වල අඛණ්ඩ දායකත්වය සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව හා ඒකාබද්ධ ණය මුදල තුළින් වූ ලැබීම් හේතුවෙන් ගෙවුම් තුලනයෙහි මූල්‍ය ගිණුම 2017 මාර්තු මාසයට පසු කාලපරිච්ඡේදය තුළ තව දුරටත් වර්ධනය විය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, June 6, 2017