ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික (SLIBOR) ගණනය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම නැවැත්වීමට තීරණය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2020 ජූලි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික (SLIBOR) ගණනය කිරීම සහ ප්‍රකාශයට පත් නො කිරීමට තීරණය කරන ලදී. මෙම තීරණයට එළඹීම සඳහා ප්‍රධාන වශයෙන් සැලකිල්ලට භාජනය වූ කරුණු වනුයේ දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ ණය උපකරණ සඳහා වන පදනම් මිල තීරණය කිරීමේ දී ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික භාවිත කිරීම අවම වීම, ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතික (LIBOR) ඇතුළු ව එවැනි අර්පණ අනුපාතික ගණනය කිරීම හා ප්‍රකාශයට පත් කිරීමෙන් ගෝලීය වශයෙන් බැහැරවීමේ ප්‍රවණතාව, අන්තර් බැංකු වෙළඳපොළේ දිගුකාලීන පරිණත කාල සීමා සඳහා පවතින අඩු පරිමාවන් හමුවේ අර්පණ අනුපාතික වාර්තා කිරීම නවතාලීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් කරන ලද ඉල්ලීම් සහ දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ විකල්ප පදනම් පොලී අනුපාතික පැවතීම යනාදියයි.

දැනට ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික හා සම්බන්ධිත ණය හෝ අත්තිකාරම් සහිත දේශීය මූල්‍ය වෙළෙඳපොළ ආයතනයකට හෝ පුද්ගලයෙකුට ඇති විය හැකි අපහසුතා වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු වාර්තා කරනු ලබන අර්පණ අනුපාතික පදනම් කර ගනිමින් ශ්‍රි ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික 2020 ජූනි මස 30 වැනි දින දක්වා අඛණ්ඩ ව ප්‍රකාශයට පත් කරනු ඇත. මෙම කාලය අතරතුර අදාළ මූල්‍ය සේවා සැපයුම්කරු සමඟ සාකච්ඡා කර සුදුසු ආන්තිකයක් සහිත ව, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික, බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR), බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR), භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික යනාදී විකල්ප පොලී අනුපාතික වෙතට මාරු වන ලෙස වෙළඳපොළ සහභාගීවන්නන් හට උපදෙස් දෙනු ලැබේ.

වෙළෙඳපොළ පොලී අනුපාතික හරහා ආර්ථිකයට මුදල් ප්‍රතිපත්තිය හා මුදල් තත්ත්වයන් සම්ප්‍රේෂණ වීමේ කාර්යක්ෂ්මතාව ඉහළ නැංවීම සඳහා පිරිවැය පිළිබිඹු කරන විකල්ප පදනම් අනුපාතිකයක් හඳුන්වා දීමේ ක්‍රියාවලියක ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට  නිරත වන බවද මෙමගින් දැනුම් දෙනු ලැබේ.

Published Date: 

Monday, February 24, 2020